2025 අගෝස්තු 09 වන සෙනසුරාදා

කැසිනෝ ආදායම නගී

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 128

යසවර්ධන රුද්රිගූ I

දේශීය ආදායම් දෙපාර්තමේන්තු වාර්තා අනුව 2024 වසරේදී එම දෙපාර්තමේන්තුව රැස්කරගෙන ඇති කැසිනෝ බලපත්‍ර ගාස්තුව ඒ වසරේදී දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කළ ආදායමට වඩා සියයට 510ක වැඩිවීමක් බව අනාවරණය වෙයි.

2024 දී දෙපාර්තමේන්තුව අපේක්ෂා කළ කැසිනෝ ආදායම වූයේ රුපියල් බිලියන 1කි. එහෙත් වසර අවසන් වනවිට සත්‍ය වශයෙන් අය කරගෙන ඇති බලපත්‍ර ගාස්තුව බිලියන 5.1ක් වේ. එය අපේක්ෂිත ආදායමට වඩා සියයට 510ක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියයි.

එසේම 2023 වසරේදී රැස්කරගත් රුපියල් මිලියන 500ට සාපේක්ෂව එය සියයට 920ක වර්ධනයක් වේ.

මෙලෙස ආදායම් වැඩි වී ඇත්තේ අලුතින් කැසිනෝ ව්‍යාපාර රැසකට බලපත්‍ර නිකුත් කිරීම සහ බලපත්‍ර ගාස්තු ඉහළ දැමීම නිසාය. පසුගිය දා නෙළුම් කුලුන පරිශ්‍රයේ ආරම්භ කළ කැසිනෝ ව්‍යාපාරය මෙන්ම 2023 වසරේ අගෝස්තු 2දා සිටි ඔෆ් ඩ්‍රීම්ස් (City of Dreams) හි ආරම්භ කළ Melco කැසිනෝ සමාගමද ක්‍රියාත්මක වේ. අද වනවිට කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන පෙළේ කැසිනෝ සූදු සමාගම් 4ක් ක්‍රියාත්මකය.