2025 ජුලි 19 වන සෙනසුරාදා

තොරතුරු නොදීම බරපතළ වරදක්: අභියාචනාධිකරණය කියයි

 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 174

අධිකරණ වාර්තාකරු I

කිසියම් රාජ්‍ය ආයතනයක් මහජන මුදල් වැය කර කරන කටයුත්තක් සම්බන්ධයෙන් ජනතාව තොරතුරු ඉල්ලා සිටි අවස්ථාවකදී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කිසිදු රාජ්‍ය ආයතන ප්‍රධානියකුට නීතිමය හිමිකමක් නොමැති බව අභියාචනාධිකරණය විශේෂ නඩු තීන්දුවක් මගින් ප්‍රකාශ කළේය. එවන් තොරතුරු නිකුත් කරන ලෙස තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව නියම කළ විට එම තොරතුරු නිකුත් කිරීම අනිවාර්යෙන් සිදුකළ යුතු බව එම නඩු තීන්දුවේ විශේෂයෙන් සඳහන් කර ඇත. 

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ශ්‍රී ලංකා තොරතුරු සභාව කරන ලද නියෝගයක් අභියෝගයට ලක් කරමින් ටෙලිකොම් සමාගම මුල්කර තිබූ පෙත්සම් තුනක් ගාස්තුවට යටත් කර නිෂ්ප්‍රභා කරමිනි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතක් සම්මත කර ඇත්තේ කාලීන අවශ්‍යතාවයක් වන බැවිනි. එබැවින් තොරතුරු කොමිෂන් සභාවේ නියෝග නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට සියලු‍ රාජ්‍ය ආයතන බැඳී සිටින බවද මෙම නඩු තීන්දුවේ සඳහන්ය. ජනතාවගේ මුදල් වැය කරන සියලු‍ම ව්‍යාපෘති සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට ජනතාවට පූර්ණ අයිතියක් ඇති බවද එම තීන්දුව මගින් අවධාරණය කර ඇත.

තොරතුරු දැන ගැනීම විෂයෙහි ඉතා වැදගත් වන මෙම සුවිශේෂී නඩු තීන්දුව ලබා දුන්නේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන රත්නප්‍රිය ගුරුසිංහ සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන් විසිනි.