ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I
2023 වසරේ මාර්තු මස 9 දින පැවැත්වීමට නියමිත වූ පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා අවලංගු කිරීමට සහ අලුතින් නාමයෝජනා කැඳවීමට හැකි පරිදි පළාත් පාලන පනත සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පත ගැසට් කර තිබේ. 2023 මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය පැවැති රජය විසින් දින නියමයක් නොමැතිව කල් දැමීමට පියවර ගත් අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ඉදිරිපත් විය. එම පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය අධිකරණ නියෝග කළේ හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවටය.
ඒ අනුව කලින් කැඳවන ලද නාමයෝජනා අහෝසි කර අලුතින් නාමයෝජනා කැඳවීම සඳහා පනතක් කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. මෙම කෙටුම්පත පාර්ලිමේන්තුව මගින් සම්මත කළ පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීමට නියමිතය.
පළාත් පාලන ආයතන 320 ක් සඳහා සභිකයන් 8711 දෙනකු පත්කර ගැනීම සඳහා අපේක්ෂකයන් 80,670 දෙනකු 2023 පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබා දී තිබිණි. රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ නියෝග පරිදි මෙම ගැසට්ටුව ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව 2023 ඉදිරිපත් කර තිබූ සියලු නාමයෝජනා පත්‍ර අවලංගු වේ. දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් මගින් නම් කරන ලද අපේක්ෂයන් විසින් තැන්පත් කරන ලද මුදල් ද ආපසු ගෙවීමට නියමිතය.