2024 ජුලි 20 වන සෙනසුරාදා

මුදල් කාරක සභාවේ අර්බුදයක්!

 2024 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 147

ආචාර්ය හර්ෂගේ වාර්තාව බහුතර මන්ත්‍රීහු ප්‍රතික්ෂේප කරති

වීසා නිකුත් කිරීම සඳහා VFS ආයතනයට අවසර දීම සම්බන්ධයෙන් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව මුදල් කාරක සභාවේ බහුතර මන්ත්‍රීන් විසින් ප්‍රතික්ෂේප කරන බව දන්වා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් බාර දී ඇත.

බෙහෙවින් ආන්දෝලනයට ලක්වූ VFS වීසා ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කොට ඒ ගැන පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුදල් කාරක සභාවට නියම කර තිබිණි. ඒ අනුව අදාළ විමර්ශනය සිදු කළේය. 

එකී වාර්තාව මුදල් කාරක සභාවේ ඒකමතික තීන්දුවක් අනුව සැකසූ වාර්තාවක් ලෙස සඳහන් වුවද කාරක සභාවේ සාමාජික මන්ත්‍රීන් 27 දෙනාගෙන් 16 දෙනකුම එය ප්‍රතික්ෂේප කරන බව කතානායකවරයාට බාරදුන් ලිපියේ සඳහන්ය.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මතය සාධාරණ ලෙස වාර්තාවට ඇතුළත්ව නැති බවද එම මන්ත්‍රීවරුන් සඳහන් කර තිබේ.