2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා

ශ්‍රීලනිපය දෙකඩ වෙයි!

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 260

I ගයාන් ගාල්ලගේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරමින් ජ්‍යෙෂ්ඨයන් පිරිසක් පුළුල් සන්ධානයක් සැකසීම සඳහා මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ඊට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් දේශයට පැවසීය. 

එම පිරිස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කලකිරී සිටින කණ්ඩායමක් බවත් ඔවුන් එම සන්ධානය සකසා වෙනත් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට හෝ තරග කරන ප්‍රබල අපේක්ෂකයකුට සහාය දැක්වීමට තීරණය කර ඇති බවත් සඳහන්ය.

එම කණ්ඩායම මේ වන විටත් පාර්ශ්ව ගණනාවක් සමඟ සාකච්ඡා කරමින් සිටින අතර ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහාය දක්වන අපේක්ෂකයකුට සහාය නොදක්වා සිටීමට තීරණය කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම කණ්ඩායම අතර පසුගියදා තනතුරුවලින් ඉවත් කළ ජ්‍යෙෂ්ඨයන් පස්දෙනකු පමණ සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අතර ශ්‍රීලනිපයේ සභාපති ධූරය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැරීම තහනම් කරමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවය.