2024 මාර්තු 09 වන සෙනසුරාදා

දේශපාලනය ආරක්ෂාව දෙකම බිඳවැටුණා - ගෝඨාභය රාජපක්ෂ

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:03 224

දේශපාලන වාර්තාකරු I

දේශපාලන හා ආරක්ෂක අංශවල හටගත් බිඳවැටීම් ගණනාවක් නිසා තමන්ට ජනාධිපති තනතුර හැර යන්නට සිදුවූ බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරයි.

ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය මැයෙන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් ලියන ලද ග්‍රන්ථයෙන් මෙම තොරතුරු අනාවරණය කර තිබේ.

කැබිනට් ඇමැති ධූර සීමා කර තිබියදී ඇමැති තනතුරු ලබා දිය නොහැකි පිරිසට පොහොට්ටුවෙන් නාමයෝජනා ලබා නොදිය යුතුව තිබිණි. මෛත්‍රීපාල සිරිසේන, අනුර යාපා, දයාසිරි ජයසේකර ඇතුළු මැති ඇමැතින් 7 දෙනකු ගැන සඳහන් කරන හිටපු ජනාධිපතිවරයා මේ අය නිරන්තරයෙන්ම අමාත්‍ය ධූර අපේක්ෂා කළත් එය ඉටු කරන්නට නොහැකි වීමද ආණ්ඩුවේ දේශපාලන අර්බුදයට මග පෑදූ බව කියයි.

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඇතුළු මැති ඇමැතින් පිරිසක් හා බැසිල් රාජපක්ෂ මහතා සමඟ පැවති අර්බුදය ද ආණ්ඩුව දුර්වල කිරීමට බලපෑ හේතුවකි. එසේම මහින්ද රාජපක්ෂ මහතා ඍජුවම දේශපාලනයට සම්බන්ධ නොවීම මෙම අර්බුද සමනය නොවීමට බලපාන ලද කරුණක් බවද ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි.

අරගලය අවස්ථාවේදී ආරක්ෂක ලේකම්වරයා, හමුදාපති, ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී සහ පොලිස්පතිවරයා පැවති තත්ත්වයට මුහුණ දීමට සැලසුමක් සකස් කර නොතිබිණි. ආරක්ෂක ලේකම් හා හමුදාපති සහයෝගයෙන් කටයුතු නොකළ අවස්ථා ද තිබිණි. ජාත්‍යන්තර වශයෙන් මොවුනට එල්ල වී තිබූ මානව හිමිකම් චෝදනා ආදිය නිසා ද අවශ්‍ය දැඩි ක්‍රියාමාර්ග ගැනීම අඩාල වන්නට ඇති බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි. 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 05:04
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00