2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

පෙට්‍රල් ෂෙඩ් වහන්න වේවි - ආනන්ද පාලිත

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 36

මිල ඉහළ යාමනිසා මේවනවිට ඉන්ධන අලෙවිය 20% කින් පමණ පහත වැටී ඇත. ඒ අතර පිරවුම්හල් වෙත පනවා ඇති වැට් බද්ද හේතුවෙන් පිරවුම්හල් වැසී යාමේ ප්‍රවණතාවක් මතුව ඇතැයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා දේශයට සඳහන් කළේය.

සංස්ථාව සතු පිරවුම්හල් සඳහා හිමිවන කොමිස් මුදල 2.75% කි. වෙනත් පිරවුම්හල් සඳහා 2.95%ක කොමිස් මුදලක් හිමිවේ. පිරවුම්හල් හිමියෝ ආදායම් බදු සහ අනෙකුත් වියදම් මෙම කොමිස් මුදලින් පියවා ගනිති. ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල්වලින් බිම් කුලිය හා අලෙවි කුලිය වශයෙන් මසකට ලක්ෂ 18ක් ඉක්මවන  මුදලක් ඛනිජ තෙල් සංස්ථාව අය කරයි. පසුගිය දිනවල අලෙවිකරුවන්ට ලබා දෙන කොමිස් මුදලින් 35%ක් යළි අයකර ගැනීමට කළ උත්සාහයට පිරවුම්හල් හිමියන් විරුද්ධ වීම හේතුවෙන් ඉන්ධන සඳහා පනවා ඇති වැට් බද්ද පිරවුම්හල් හිමියන්ගෙන් අයකර ගැනීමට ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. මින් වසර 12කට පෙර නියෝජිත පිරවුම්හල් ඇතුළු සියලු පිරවුම්හල් නඩත්තු කරන ලද්දේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගිනි. පිරවුම්හල් නවීකරණය සඳහා පොලී රහිත ණය ද ලබා දුනි. වර්තමානයේ මෙම සියලු කටයුතු පිරවුම්හල් හිමියන් වෙත පටවා තිබීම හේතුවෙන්  බොහෝ ඉන්ධන අලෙවිහල් නුදුරේදීම වැසී යාමේ තර්ජනයක් නිර්මාණය වී ඇතැයි ඔහු සඳහන් කළේය.

2023 වසරේ දෙසැම්බර් වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 127 ඉක්මවූ ලාබයක් උපයා තිබේ. ලෝක වෙළෙඳපොළේ පවතින මිල හා තෙල් සංස්ථාවේ ගබඩාවල ඇති ඉන්ධන ප්‍රමාණය අනුව මේ මොහොත වන විට පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින්ද, ඩීසල් ලීටරයක් රුපියල් 22කින්ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 08කින්ද අඩු කළ හැකිව තිබුණද ඛනිජ තෙල් සංස්ථාව එම සහනය ජනතාව වෙත ලබා දී නොමැති බවද ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.