2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා

මැතිසබය නව සැසිය ඇරඹෙනදා පක්ෂ කරණමක්?

 2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා, ප.ව. 02:03 357

දේශපාලන වාර්තාකරු I

මේ වන විට වාර අවසාන කර ඇති පාර්ලිමේන්තුව නැවත විවෘත කරන ලබන මස 07දා දේශපාලන පක්ෂ මාරුවක් සිදුවීමට ඉඩ ඇතැයි දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි. එදින සාම්ප්‍රදායිකව ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය අනුමත කරන බව පවසමින් මෙම පක්ෂ මාරුව සිදුවීමට ඉඩ ඇති බවද සඳහන්ය. අප වෙත වාර්තා වන තොරතුරු අනුව විපක්ෂයේ සිටින මන්ත්‍රීන් පිරිසක් මේ ගැන රහස් සාකච්ඡා වට ගණනාවක් පවත්වා තිබිණි.

එහෙත් විපක්ෂයෙන් රජයට එක්වන්නේ කොපමණ මන්ත්‍රීන් ගණනක්ද ඔවුන් නියෝජනය කරන්නේ කවර පක්ෂ ද යන්න සම්බන්ධයෙන් මීට අදාළව අප වෙත කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කිසිදු තොරතුරක් සඳහන් කළේ නැත. එහෙත් විපක්ෂයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් දෙදෙනකු (හිටපු ඇමැතිවරුන්) විසින් මෙම කටයුතු රහසිගතව සංවිධානය කරන බව දැනගන්නට තිබේ.