2023 මාර්තු 26 වන ඉරිදා

ටෙලිකොම් මිලට ගන්න ආයෝජකයෝ බැලුම් හෙළති

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:00 64

I දේශපාලන වාර්තාකරු

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා අලෙවි කිරීමේදී එම කොටස් මිලදී ගැනීමට ජාත්‍යන්තර ආයෝජකයන් ගණනාවක් මූලික විමසුම් කර ඇති බව දේශයට වාර්තා වෙයි.

පවත්නා නීතිමය තත්ත්වය අනුව දැනටත් ටෙලිකොම් ආයතනයේ කොටස්වලින් 49% මැලේසියාවේ පදිංචි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජී. ආනන්ද ක්‍රිෂ්ණන්ට හිමි මැක්සීස් සමාගමට අයත් බැවින් මුලින්ම ඉතිරි කොටස්ද මිලට ගැනීම සඳහා එම සමාගමට ඇරයුම් කළ යුතුය.

ඒ අතර නව ආයෝජකයන්ටද ආරාධනා කළ හැකිය. අප වෙත වාර්තා වන ආකාරයට සුප්‍රකට ඉන්දීය ව්‍යාපාරික පවුලක් වන මිත්තල් පවුලට අයත් රිලයන්ස් සමාගම, එසේම මුකේෂ් අම්බානිට අයත් ජියෝ සමාගම සහ සුභාෂ්කරන් අලි රාජාට අයත් ලයිකා මොබයිල් ආයතනය ටෙලිකොම් ආයතනය මිලට ගැනීමට උනන්දු වන බව තහවුරු වී තිබේ. මෙයින් රිලයන්ස් සමාගම දැනට මෙරට එයාර්ටෙල් ආයතනයේද හිමිකාරිත්වය දරයි.

අලෙවි කිරීමට යන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සතු භෞතික වත්කම් අතර වඩාත්ම වටිනා සම්පත ලෙස සැලකෙන්නේ ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට සන්නිවේදන පහසුකම් සලසන භූගත කේබල් 5කින් සමන්විත කේබල් පද්ධතියයි.