
l සකීෆ් සාම් තන්වීරි
213/29 අප්‍රේල් 07 විශේෂ ගැසට් නිවේදනය නිසා ජූලි පළමු වනදා දක්වා මැතිවරණයක් පැවැත්විය නොහැකි බවද නැතිනම් ගිනි නිවන හමුදාව මෙන් ඕනෑම මොහොතක ඡන්දයක් පැවැත්වීමට තමන් සූදානමින් සිටින බවද ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා දේශයට පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ 2016 අංක 01 දරන පනතින් යෝජනා කළ කාන්තා නියෝජනය හා සභාවල සංස්ථාපනය කළ සභික සංඛ්‍යාව සඳහන් ගැසට් පත ක‍්‍රියාත්මක කළ යුත්තේ 2017 ජුලි මස පළමු වනදා සිට යනුවෙන් සඳහන් වන බවය.
එබැවින් ඡන්දයක් පැවැත්වීමේ ඕනෑම කටයුත්තක් කළ හැකි ආසන්නම දිනය ජූලි 01 දා බවත් හෙතෙම පැවසීය. 2017 අප්‍රේල් 07 දිනැති එම අතිවිශේෂ ගැසට් නිවේදන තමා වෙත ලැබුණේ සති කිහිපයක් ප‍්‍රමාද වී මැයි මස දෙවැනි සතියේ බවත් ඒ මහතා කීය. මැතිවරණය ප‍්‍රමාද වීමට හේතුව ස්වාධීන කොමිෂන් සභාව නොවන බවත් සභාපතිවරයා අවධාරණය කළේය. කැබිනට් අනුමැතිය ලැබී ඇති පළාත් පාලන පනතේ සංශෝධනය සඳහා කෙටුම්පත පතක් ලෙස සකස් කර අමාත්‍යංශයට ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු විවාදයෙන් දින නියමවීම සිදුවිය යුතු බවත් එය කිසි ලෙසකින් ජූනි 30 වැනිදාට පෙර අවසන් වීමට ඉඩ නැති බවත් හෙතෙම කීවේය. එදින සිට දින 75ක්වත් මැතිවරණය පැවැත්වීමට කොමිසමට අවශ්‍යවන බැවින් සැප්තැම්බර් මාසයේ මැතිවරණය පැවැත්විය හැකි බව කොමිසමේ සභාපතිවරයා කීය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත සම්මත වී තිබුණත් ඡන්ද පැවැත්වීමට අදාළ අනෙකුත් නීති රීති පළාත් පාලන අමාත්‍යංශය හා පාර්ලිමේන්තුව සකස් කර ක්‍රියාත්මක කරන තුරැ මැතිවරණ කොමිසමට ඡන්ද විමසීමක් පැවැත්විය නොහැකි බවද සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් අවධාරනය කළේය.