2023 මාර්තු 12 වන ඉරිදා

IMF ණය සමඟ කොන්දේසිත්!

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:01 257

I ව්‍යාපාරික වාර්තාකරු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාව සඳහා වන ණය මුදල නිදහස් කිරීම අනුමත කිරීමත් සමඟ දේශීය ආර්ථික පාලනයට අදාළ සීමා කිහිපයක් පැනවෙනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

මෙලෙස දැඩි සීමාවලට යටත් පළමු කාරණය වන්නේ මහ බැංකුව මගින් කෙරෙන මුදල් අච්චු ගැසීමයි. ඒ සඳහා මූල්‍ය අරමුදල විසින් සීමාවක් පනවනු ඇතැයි සඳහන්ය. රුපියල කඩා වැටීම වැළැක්වීම සඳහා මහ බැංකුව විසින් ඩොලර් වැය කිරීමද නිශ්චිත සීමාවකට යටත් කෙරෙයි. නිදහසේ රුපියලේ වටිනාකම තීරණය කළ යුතුය යන්න මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තියයි. එවිට ඩොලරයක රුපියල් වටිනාකම නැවත ඉහළ යනු ඇතැයි වාර්තා වෙයි. මෙම සීමා කිරීම්වලට අමතරව රජයට දේශීය හා විදේශීය ණය ලබාගැනීම සඳහා ද විශේෂ ණය සීමාවක් පැනවෙනු ඇත.

මේ සියලු සීමා කිරීම් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් රටේ සුබසාධක ප්‍රතිලාභ ලබන්නන් අතරින් වැරදි තොරතුරු ඉදිරිපත් කර ප්‍රතිලාභ ලබන්නන් ඉවත් කිරීමත් කළ යුතු යැයි මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට උපදෙස් දී තිබේ.
මෙම උපදෙස්වලට යටත්ව මූල්‍ය අරමුදල අමෙරිකානු ඩොලර් කෝටි 290ක ණය මුදල ශ්‍රී ලංකාව සඳහා ලබා දීමට අනුමැතිය ලබා දෙනු ඇත. ඒ සඳහා වන අධ්‍යක්ෂ මණ්ඩල රුස්වීම මෙම මස 20දා පැවැත්වෙයි.