2023 මාර්තු 05 වන ඉරිදා

ඡන්දය තියන්න විපක්ෂය සමඟ පොහොට්ටුවත් එක්වෙයි-මැතිසබයට යෝජනාවක්

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:00 632

දේශපාලන වාර්තාකරු I

කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පවත්වන ලෙස පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය සහ පොහොට්ටුව (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව වාර්තා වෙයි. මේ සතියේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේදී ඡන්දය නියමිත ලෙස පවත්වන ලෙස මැතිසබා යෝජනාවක් සම්මත කරගත යුතු යැයි මුලින්ම යෝජනා කර ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය. එම යෝජනාව ඉදිරිපත් වූ විට පොහොට්ටුව පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් ද ඊට සහාය දක්වන බව ප්‍රකාශ කර තිබේ.

අනතුරුව මේ සඳහා වන යෝජනාවේ මූලික කෙටුම්පත පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටි සාගර කාරියවසම් මහතා එම යෝජනා කෙටුම්පත සලකා බලා තම පක්ෂයේ අදහස් ද ඊට ඇතුළත් කරන බව සඳහන් කර තිබේ. ඉන්පසු පොහොට්ටුවේ සහ විපක්ෂයේ ඒකාබද්ධ යෝජනාවක් ලෙස ඡන්දය නියමිත පරිදි පවත්වන ලෙස ඉල්ලන යෝජනාව මැතිසබයට ඉදිරිපත් කළ හැකි බව පොහොට්ටුව මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත. ඒ සමඟ විපක්ෂය හා පොහොට්ටුව මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට තීන්දුවක් ගත් බව දේශය මේ ගැන කළ විමසුමකට පිළිතුරු දුන් පොහොට්ටුව මහලේකම් සාගර කාරියවසම් මහතා තහවුරු කළේය.