2023 පෙබරවාරි 26 වන ඉරිදා

ඡන්දයට සල්ලි නෑ කීම ලොකු බොරුවක් - මහාචාර්ය වසන්ත අතුකෝරාළ

 2023 පෙබරවාරි 26 වන ඉරිදා, පෙ.ව. 06:02 100

යසවර්ධන රුද්රිගූ I

රජය පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් බිලියන 10ක් දීමට මුදල් නැති බව පැවසීම සම්පූර්ණ අසත්‍යයක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ දේශය පුවත්පතට පැවසීය.

ඔහු පවසන්නේ රජය පසුගිය ජනවාරි මාසයේ සිට පෙබරවාරි 15 දක්වා කාලය තුළ රුපියල් බිලියන 1033ක මුදල් ප්‍රමාණයක් දේශීය භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර හරහා ලබාගෙන ඇති බවය. එවැනි වාතාවරණයක පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් බිලියන 10 ක් නැතැයි කියන කතාව සම්පූර්ණයෙන් මවාපෑමක් බව ඔහු පවසයි. රජය කියන තරමේ අර්බුදකාරී ආර්ථික තත්ත්වයක් රටේ නැති බව ආර්ථික විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් බලන විට පැහැදිලිව තේරුම් යන්නේ යැයි ඔහු පෙන්වා දෙයි.

"රජය පසුගිය අයවැයේදී මැතිවරණය සඳහා රුපියල් බිලියන 10.9ක් වෙන්කර තියෙනවා. ඒ මුදල් මැතිවරණයට දෙන්න පුළුවන්. අයවැය ලේඛනයෙන් සල්ලි වෙන් කරලා ඊට පස්සෙ දෙන්න බැහැ කියනවා නම් එය හරි පුදුම කතාවක්. එහෙම බැරි වෙනවා නම් අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමේ පරමාර්ථය බිඳ වැටෙනවා. අයවැය ලේඛනයක් තියෙන්නේ අවශ්‍ය මුදල් වෙන් කරන්නයි. රජය කරන්නේ ලැබෙන මුදල් උත්සව පැවැත්වීම, පෙරහරවල් පැවැත්වීම වැනි අනවශ්‍ය කාර්යයවලට යෙදවීමයි. රජය රටේ ජනතාවගෙන් විශාල බදු මුදලක් අය කරද්දී මුදල් නැහැ කියලා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කල් දැමීමට රජයට කිසිම හැකියාවක් නැහැ."යැයි ඔහු වැඩිදුරටත් කීය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00