2022 නොවැම්බර් 27 වන ඉරිදා

2020 මරණවලට වඩා 2021 මරණ වැඩිවෙලා

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:00 94

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I

2020 වසරට සාපේක්ෂව 2021 වසරේ මෙරට මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් දේශයට ප්‍රකාශ කළේය. මරණ සංඛ්‍යාව වැඩිවීමට නිශ්චිත හේතුවක් ප්‍රකාශ කළ නොහැකි වුවද එයට කොවිඩ් 19 වසංගතයෙන් යම් බලපෑමක් සිදු වී ඇතැයි ඔහු සඳහන් කළේය.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2020 වසරේ දිවයිනේ සමස්ත මරණ සංඛ්‍යාව 132,431ක් වූ අතර 2021 එම සංඛ්‍යාව 163,936ක් විය. දිස්ත්‍රික්ක වශයෙන් ගතහොත් 2020 වසරේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එය 20,299කි. 2021 එම සංඛ්‍යාව 25,492කි. දෙවැනියට වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එය 2020 වසරේ 12,769ක් වූ අතර 2021 වසරේ 16,719ක් විය.‍

2020 වසරේ දිවයින පුරා උපත් 301,706ක් වාර්තා වී ඇති අතර 2021 එම සංඛ්‍යාව 284,848ක් ලෙස යම් පමණක පහත වැටීමක් පෙන්නුම් කරයි. 2020 වසරේ ලියාපදිංචි කරන ලද විවාහ සංඛ්‍යාව 143,061කි. 2021දී එය 162,628ක් විය. 2022 වසර සඳහා වන සංඛ්‍යාලේඛන මෙතෙක් ප්‍රකාශයට පත්ව නොමැත.