2022 නොවැම්බර් 27 වන ඉරිදා

රටින් මාළු ෙගනත්: ධීවරයෝ අමාරුවේ

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:03 124

චමිඳු නිසල් ද සිල්වා I

සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් - රුවන් ප්‍රනාන්දු

හොඳින් මත්ස්‍ය අස්වනු ලැබෙන වළාල සමයේදී පිටරටින් මසුන් මෙරටට ගෙන්වීමට ධීවර අමාත්‍යංශය අවසර දීම හේතුවෙන් ධීවර කර්මාන්තය කඩා වැටෙමින් පවතින බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු මහතා දේශයට පැවසීය.

ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ වැඩිපුර මත්ස්‍ය අස්වනු ලැබෙන ඔක්තෝබර් මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා වළාල සමයේ මත්ස්‍ය ආනයනය නවතාලන ලෙස බලධාරීන්ගෙන් කොතරම් ඉල්ලීම් කළද ඔවුන් ඒවාට ඇහුම්කන් නොදෙන බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම්වරයා දැඩි ලෙස අවධාරණය කළේය. ආනයනික මාළු හේතුවෙන් දේශීය මාළු මිල පහළ වැටීමත් සමඟ අධික ඉන්ධන වියදම නිසා අසරණව සිටින ධීවරයන් තවදුරටත් පීඩාවට ගොදුරු වනු ඇතැයි ඔහු සඳහන් කරයි.

කොප්පරා, තලපත් ආනයනයෙන් බහුදින ධීවර යාත්‍රාවලටත්, සැමන් මාළු ආනයනයෙන් ලින්නන් අල්ලන ධීවරයන්ටත් දැඩි බලපෑමක් එල්ල වී ඇති බව රුවන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් අප ධීවර අමාත්‍යංශයෙන් සිදුකළ විමසීමකදී ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය පවසා සිටියේ අමාත්‍යංශයද මත්ස්‍ය ආනයනය සීමා කළයුතුය යන මතයේ සිටින බවයි. ආනයන සඳහා රුපියල් 400ක බද්දක් මේ වනවිටත් පනවා ඇති අතර මේ දිනවල මත්ස්‍ය නිෂ්පාදනය හොඳින් සිදුවන බැවින් අත්‍යවශ්‍යම මත්ස්‍ය වර්ග පමණක් ආනයනය කිරීමට අවසර ලබා දී ඇතැයි ලේකම්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.