2022 නොවැම්බර් 20 වන ඉරිදා

පුංචි ඡන්දය කල් දැම්මොත් විපක්ෂය උසාවියට

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 43

I ගයාන් ගාල්ලගේ

පළාත් පාලන මැතිවරණය කල් දමන්නේ නම් සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් අධිකරණය වෙත වෙන වෙනම යාමට තීරණය කර ඇත.

දැනට පළාත් පාලන මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කටයුතු සිදුකෙරෙමින් පවතී. එහි අවසන් වාර්තාව ලබන පෙබරවාරි 28 දින වනවිට ලබා දිය හැකිය. එහෙත් ඉන් පසුව මෙම සීමා නිර්ණය සමාලෝචන කමිටුවක් මගින් නැවත සමාලෝචනය කළ යුතුය. ඒ සඳහා තවත් කාලයක් ගත වෙයි. එසේ වුවද මාර්තු මස 20 වැනි දිනය වනවිට පළාත් පාලන ආයතන (සභා) ස්ථාපිත කිරීමට නම් මෙම දෙසැම්බර් අවසන් සතියේවත් ඡන්ද විමසීමට අදාළ නිල ප්‍රකාශය කොමිසම විසින් නිකුත් කළ යුතු බව තමන්ගේ අදහස යැයි දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

සීමා නිර්ණය හමාර නොකර ඡන්දය පවත්වන්නේ කවර ඡන්ද ක්‍රමයටදැයි දේශය විමසූ කල ඔහු ප්‍රකාශ කළේ 2018 පැවති ක්‍රමයට ඡන්ද විමසීම සිදු කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවය. සීමා නිර්ණය කොමිසමේ කටයුතු වෙනම සිදුවෙද්දී මැතිවරණ කොමිසමට තමන්ගේ වගකීම් ඉටුකළ හැකි බවද ඔහු සඳහන් කළේය.

මාර්තු මස 20 දින වනවිට නව පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීමට නම් 2023 පෙබරවාරි මස 20ත් 25ත් අතර කාලයේවත් ඡන්ද විමසීම සිදු කළ යුතුය යන්න තම අදහස යැයි පැවසූ හෙතෙම ඉන් අනතුරුව සති දෙකක් හෝ තුනක් තුළ අලුත් සභාවලට අදාළ නිල කටයුතු රාශියක් ඉටු කිරීමට ඇති බැවින් පෙබරවාරි අග වනවිට ඡන්දය හමාර කළ යුතු බව ප්‍රකාශ කළේය. පවත්නා නීතිමය තත්ත්වය යටතේ ඡන්දය කල් දැමීමට අවකාශ ඇත්තේ ඒ සඳහා බලය ඇති අධිකරණයකින් ලැබෙන නියෝගයකින් හෝ විශේෂ පාර්ලිමේන්තු පනතක් මගින් පමණක් යැයිද ඔහු පැවසීය.