2022 නොවැම්බර් 20 වන ඉරිදා

අයවැයටත් උඩින් ගිහින් පාස්පෝට්- වීසා ගාස්තු නංවලා

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 81

I යසවර්ධන රුද්රිගු

2023 වසරේ අයවැය ලේඛනය අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් අය කෙරෙන විදේශ ගමන් බලපත්‍ර ගාස්තු සහ වීසා ගාස්තු 2023 ජනවාරි මස 01දා සිට ඉහළ යනු ඇත. ඒ බව ජනාධිපතිවරයාගේ අයවැය කතාවේ 35 සහ 35.2 ඡේදවල සඳහන්ය.

එසේ වුවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් 2022.11.17 දින සිට එම ගාස්තු සංශෝධනය කර ඇති බව නිවේදනය කර ඇත. මේ පිළිබඳ ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටියගෙන් විමැසූ විට ඔහු පැවසුවේ මුදල් අමාත්‍යංශය විසින් විදේශ ගමන් බලපත්‍ර ගාස්තු වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩිකරන ලෙස ලිඛිතව දුන් උපදෙස් පරිදි තමා එම ක්‍රියාමාර්ගය ගත් බවය.

විදේශ ගමන් බලපත්‍ර ගාස්තු සියයට 20කින් වැඩි කිරීමට අයවැයේ යෝජනා කර ඇති නමුත් එයට වඩා ඉහළ ප්‍රතිශතයකින් වැඩිකර ඇති බවද අනාවරණය වෙයි. එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව වූ රුපියල් 15,000 රුපියල් 20,000 දක්වා වැඩිකර ඇති නමුත් සියයට 20ක් වැඩි කරන්නේ නම් ඉහළ නැංවිය යුත්තේ 18,000කටය. එසේම සාමාන්‍ය සේවය යටතේ රුපියල් 3500ක් අයකර නිකුත් කරන විදේශ ගමන් බලපත්‍රය රුපියල් 5000 දක්වා වැඩිකර තිබුණද සියයට 20 පදනමේ වැඩි කරන්නේ නම් එම ගාස්තුව රුපියල් 4200ක් විය යුතුය. මෙහිදීද රුපියල් 800ක් වැඩිපුර අයකර තිබේ. නැතිවූ ගමන් බලපත්‍ර වෙනුවෙන් අයකරන අලුත් ගාස්තුව රුපියල් 11,500 සිට 20,000 දක්වා වැඩිකර ඇති නමුත් එහිදීද සියයට 20 සීමාව ඉක්මවා ගොස් තිබේ. වැඩියෙන් අයකරන මුදල රුපියල් 6200කි. මේ ආදී වශයෙන් සෙසු වර්ග සඳහාද සියයට 20 සීමාව ඉක්මවා ගාස්තු වැඩිකර තිබෙන බව නව ගාස්තු චක්‍රය අනුව සනාථ වෙයි.