2022 නොවැම්බර් 20 වන ඉරිදා

විදුලිය- ඉන්ධන- දුම්රිය ගාස්තු වැඩිවන ලකුණු

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:03 192

I ව්‍යාපාරික වාර්තාකරු

විදුලිය, ඉන්ධන, දුම්රිය හා බස් ගාස්තු ලබන අප්‍රේල් මස 01දා සිට 15% කින් පමණ ඉහළ යනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි. 2023 අයවැය යෝජනා අනුව එම ගාස්තු ඉහළ දැමෙන බවද වාර්තා වෙයි. කෙසේ වෙතත් ඊට පෙර බදු සමාලෝචනයක් සිදුකොට වැට් බදු නිදහස ලබා දිය හැකි භාණ්ඩ හා සේවා වෙත්නම් ඒවා ගැන වෙනම තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බවද අයවැයේ සඳහන්ය. ඊට සමගාමීව නව වැට් බදු පනතක් ද හඳුන්වා දෙනු ඇත.

දැනට පෙට්‍රල් සහ ඩීසල් සඳහා වැට් බදු පනවා ඇති අතර 2023 අප්‍රේල් 01දා සිට ආනයනික බොරතෙල් සඳහා ද වැට් බද්ද ක්‍රියාත්මක වීමට නියමිත බව දැනගන්නට ඇත. ඊට අමතරව දැනට වැට් අය කරන ඩීසල් හා පෙට්‍රල් වෙනුවෙන් 2023 අප්‍රේල් 01දා සිට අධිභාර බද්දක් පනවා තිබේ. එහෙත් එහි ප්‍රතිශතය මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත. කෙසේ වෙතත් නව බදු පැනවීම හේතුවෙන් ඉන්ධන මිල අප්‍රේල් 01දා සිට ඉහළ දැමීමට නියමිතය.

දැනට වැට් බදු බලනොපාන ප්‍රවාහන ක්ෂේත්‍රයේ දුම්රිය හා බස් ගාස්තු සඳහා ද වැට් බද්ද ලබන අප්‍රේල් 01දා සිට බලපවත්වයි. එසේම ඉන්ධන මිලද ඉහළ යාම හේතුවෙන් දුම්රිය හා බස් ගාස්තුද ඊට සාපේක්ෂව ඉහළ යනු ඇතැයි වාර්තා වෙයි.
මේ හැර රජයේ සියලුම ගාස්තු 20% කින් ඉහළ දැමීමටද නියමිතය. අධිවේගී මාර්ග ගාස්තු, විවාහ ලියාපදිංචි ගාස්තු, සමාගම් ලියාපදිංචි ගාස්තු ඇතුළු ගාස්තු වර්ග රැසක් ඒ අනුව ඉහළ නගී.

විශේෂයෙන් ඉන්ධන, විදුලිය හා ප්‍රවාහන ක්ෂේත්‍රවලින් වැට් බදු මෙතෙක් කල් නිදහස් කර තිබීම නිසා දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස වසරකට 1% ක ආදායමක් අහිමිවන බව අයවැය ලේඛනයේ සඳහන්ය