2022 අගෝස්තු 07 වන ඉරිදා

චීන යුද නැවේ හම්බන්තොට ගමන නවතී ?

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:04 200

l රාජ්‍ය තාන්ත්‍රික වාර්තාකරු 

ජාත්‍යන්තර දේශපාලන අර්බුදයකට තුඩු දුන් චීනයේ 'යුආන්වැන් 5' ආරක්ෂක නෞකාව සැලසුම් කර තිබූ පරිදි ලබන 11දා හම්බන්තොට වරායට නොපැමිණෙනු ඇතැයි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.

මෙම නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට පසුගිය ජූනි මසදී නිල අවසරය ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය ලබා දී තිබිණි. එසේ වුවත් චීන මහජන විමුක්ති හමුදාවට අයත් සතුරු මිසයිල ස්ථානගත කර ඇති ස්ථාන අධීක්ෂණයට පහසුකම් ඇති 'යුආන්වැන් 5' නෞකාව හම්බන්තොට වරායට පැමිණීම ගැන ඉන්දියාව අප රටට දැඩි විරෝධය පළ කළේය.

ඉන්දීය විදේශ අමාත්‍යාංශය නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට ද තම විරෝධය දැනුම් දුන්නේය.
කෙසේ හෝ දෙරට අතර හොඳ හිත රැකගෙන මෙම අර්බුදය විසදා ගැනීම සඳහා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ඉන්දීය සහ චීන විදේශ අමාත්‍යවරුන් කාම්බෝජයේදී මුණගැසී සාකච්ඡා කළේය. එහිදී සිදු කළ කරුණු පැහැදිලි කිරීම් අනුව චීන යුද නැව හම්බන්තොට වරායට නොපැමිණෙනු ඇතැයි දැනගන්නට තිබේ.