2022 ජුලි 17 වන ඉරිදා

නව ජනපති තේරීම රහස් මනාප ක්‍රමයට

 2022 ජුලි 17 වන ඉරිදා, පෙ.ව. 08:00 77

දේශපාලන වාර්තාකරු I

අභිනව ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා ලබන 20දා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීම මනාප ක්‍රමය අනුව පැවැත්වෙනු ඇතැයි වාර්තා වෙයි. 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාගැනීමේ විශේෂ විධිවිධාන පනත අනුව මෙම ඡන්දය සංවිධානය කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි. මෙම ඡන්දය රහස් ඡන්දයක් වීමද විශේෂත්වයකි.

එදින මැතිසබයට පැමිණෙන මන්ත්‍රීන්ගෙන් ඒකාන්ත බහුතර ඡන්දයක් ලබන තැනැත්තා ජනාධිපති ධූරයට තෝරාගැනීම සඳහා මෙම ඡන්දය උපයෝගී කර ගැනෙයි. එක් ඡන්ද අපේක්ෂකයකුට වැඩි ගණනක් ජනාධිපති ඡන්දය සඳහා ඉදිරිපත් වුවහොත් මෙම ඡන්දය පැවැත්වෙයි.

ශ්‍රී ලංකාවේ මෙයට පෙර පාර්ලිමේන්තුව මගින් ජනාධිපතිවරයකු තෝරාගත්තේ 1993 මැයි මස මුල් සතියේය. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනය වීමෙන් පසු ඩී.බී. විජේතුංග මහතා එවර ජනාධිපති ධුරයට මැතිසබයෙන් තෝරාගනු ලැබීය. එහෙත් ඒ සඳහා ඡන්දයක් පැවැත්වූයේ නැත. සියලු පක්ෂ ඩී.බී. විජේතුංග මහතාට සහය පළ කළ නිසා ඔහු නිතරගයෙන් තේරීපත් විය. ඩී.බී. විජේතුංග මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දුන්නේ 1993 මැයි මස 07දාය.