2017 මැයි 13 වන සෙනසුරාදා

වෙසක් අවසන් උළෙලට නේපාල ජනපතිනිය

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 73


එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් සමාප්ති උත්සවය මැයි මස 14 වනදින ( අද) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මහ මළුවේදී පැවැත්වෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජයේ ප්‍රධාන පෙළේ මැති ඇමැතිවරුද සමාප්ති උළෙලේ ප්‍රධාන අමුත්තා ලෙස නේපාල ජනාධිපතිනි බිද්‍යා දේවි බන්ධාරි මැතිණියද සහභාගි වන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය. මහනුවරදී පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින සමාප්ති උළෙලට මහනුවරට පැමිණෙන විදේශීය රාජ්‍ය නායකයන් ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන්ට පුෂ්පෝපහාර දැක්වූ ආගමික වතාවත් ඉටුකොට අනතුරුව ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරයද නැරඹීමට යන බව දියවඩන නිලමේවරයා වැඩිදුරටත් කීය.

ජාත්‍යන්තර වෙසක් දින සමාප්ති උළෙලට මහනුවරට පැමිණෙන විදේශීය රාජ්‍ය නායකයන් ඇතුළු විදේශීය නියෝජිතයන් වෙනුවෙන් 14 වන දින රාත්‍රී 8.00 විශේෂ සංස්කෘතික පෙරහරක්ද පැවැත්වෙන අතර උඩරට සම්ප්‍රදායික නර්ථන අංග ඉදිරිපත් කරන නර්ථන ශිල්පීන්ගෙන් සහ අලි ඇතුන්ගෙන් සමන්විත මෙම පෙරහර දළදා වීදිය, රජවීදිය යන වීථි ඔස්සේ වීථි සංචාරය කෙරෙයි.

l ජේ.ඒ.එල්. ජයසිංහ