2022 ජුනි 19 වන ඉරිදා

සහල් මෝල්පතියෝ අතයට ජාවාරමක

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:04 140

I සංජීවිකා සමරතුංග

ඇසුරුම් කළ සහල් බෑගයේ රජයේ පාලන මිල සඳහන් කර එම මිලට වඩා වැඩි ගණනකට සහල් අලෙවි කිරීමට පොළොන්නරුවේ ප්‍රධාන සහල් මෝල් හිමියන් කටයුතු කරන බැවින් වහා ඔවුන් වැටලීමට ලක් කළ යුතු බව නම් සඳහන් නොකළ සහල් තොග වෙළෙඳුන් ගණනාවක්ම දේශයට කීහ.

කිලෝවක් රු. 260/- ට පාලන මිල නියම කර ඇති විවිධ සම්බා වර්ග කිලෝ 5ක බෑගයක් තම සමාගම් විසින් සපයන්නේ කිලෝව රු. 300/- මිලට බව පවසන එම සහල් මෝල් හිමියෝ සිල්ලර වෙළෙඳුන්ට එම සහල් කිලෝව රු. 310/- බැගින් අලෙවි කළ හැකි බව පවසන්නේ යැයිද සඳහන් කළහ. එහෙත් මෙම ජාවාරමේ නියුතු මහා පරිමාණ මෝල් හිමියන් තොග වෙළෙඳුන්ට සහල් අලෙවි කරන විට සපයන බිල්පතේ සඳහන් කරන්නේ පාලන මිල පමණි. ඉතිරි මුදල් අතයට ගෙවීම සිදු කළ යුතු යැයිද අප වෙත කරුණු දැක්වූ තොග වෙළෙන්ඳෝ සඳහන් කළෝය.

එබැවින් රජයේ පාලන මිල ව්‍යාජ ලෙස බෑගයේ සඳහන් කර ඊට වඩා වැඩි මිලකට සහල් අලෙවි කරන පොළොන්නරුවේ ජාවාරම්කාර සහල් මෝල් හිමියන්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන මෙන්ද එම තොග වෙළෙන්ඳෝ ඉල්ලා සිටිති. එසේම සහල් තොග රුස්කොට අලෙවි නොකර සගවාගෙන සිටින්නන්ද එලෙසම වැටලිය යුතු බවද තොග වෙළෙන්දෝ, පාරි‌භෝගිකයෝ සහ සිල්ලර වෙළෙඳුන් ඉල්ලා සිටිති. 

පාරිභෝගික අධිකාරිය මෙකී මහා ජාවාරම්කරුවන් වටලන්නේ නැතිව සිල්ලර වෙළෙඳුන් පසුපස යාමෙන් පමණක් සහල් මාෆියාව එළිපිට සිදු කරන මෙම හොර ජාවාරම මර්දනය කළ නොහැකි බව ඔවුහු වැඩිදුරටත් කීහ.