2022 ජුනි 19 වන ඉරිදා

තෙල් නැත්නම් එන සතියේ බස් නැහැ

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 95

I චමිඳු නිසල් ද සිල්වා

විධිමත් ලෙස පෞද්ගලික බස් රථ සේවාව පවත්වාගෙන යාමට දිනකට අවම වශයෙන් ඩීසල් ලීටර් ලක්ෂ හයක් ලැබිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශය කරයි. එම ඩීසල් ප්‍රමාණයන් නොලැබුණහොත් ඉදිරි සතිය තුළ මගී ප්‍රවාහන සේවාවන් අකර්මණ්‍ය වී රටට දැවැන්ත ප්‍රවාහන අර්බුදයකට මුහුණ දීමට සිදුවනු  ඇතැයි ඔහු දේශය සිදු කළ විමසීමක දී පැවසීය.

ඩීසල් ලීටර ලක්ෂ හයක් භාවිතයෙන් දිනකට බස් රථ මගීන් ලක්ෂ හතළිහක පමණ මගීන්ට ප්‍රවාහන පහසුකම් සැපයිය හැකිය. මේ හා සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කළ බව ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය. දුම්රිය සේවාව පවත්වාගෙන යාමට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ අටක් පමණ අවශ්‍ය වන නමුත් ප්‍රවාහන පහසුකම් සැපයිය හැක්කේ එමගින් ලක්ෂ පහකට පමණක් යැයිද ඔහු ප්‍රකාශ කරයි.

මෙරටට පැමිණි මෙට්‍රික් ටොන් 40,000ක ඩීසල් නෞකාවේ ඉන්ධන නිසි ලෙස කළමනාකරණය කරගතහොත් සති දෙකක පමණ කාලයක් ප්‍රවාහන සේවා පවත්වාගෙන යා හැකිව තිබේ. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන පරිදි ඉන්ධන කළමනාකරණය නිසි ලෙස සිදු නොවුණහොත් ඉදිරි සතිය තුළදී සමස්ත මගී ප්‍රවාහනය අර්බුදයකට ගමන් කරනු ඇත.