2022 ජුනි 12 වන ඉරිදා

ධම්මික පෙරේරාට පවිත්‍රාට කැබිනට් පත්වීම්

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 45

සංජීවිකා සමරතුංග I

නව කැබිනට් අමාත්‍ය තනතුරු දෙකක් ජනාධිපතිවරයා විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. ඉන් පළමු තනතුර වන්නේ තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරයයි. අනෙක් අමාත්‍ය ධූරය කාන්තා, ළමා සංවර්ධන සහ සවිබල ගැන්වීමේ අමාත්‍ය පදවියයි.

මෙම අමාත්‍ය ධූර දෙක සඳහා ලබන සතියේ නව අමාත්‍යවරුන් පත්කෙරෙනු ඇතැයි වාර්තා වෙයි. තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ප්‍රකට ව්‍යාපාර සමාගම් හිමියකු වන ධම්මික පෙරේරා මහතා පත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි. ඊට පෙර ඔහුගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පත්වීම ගැසට් මගින් ප්‍රකාශයට පත්විය යුතුය. එසේම කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍ය පදවියට පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පත්වීමට ඉඩ ඇති බවද සඳහන්ය.

බැසිල් රාජපක්ෂ මහතා ඉවත්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ධම්මික පෙරේරා මහතා නම්කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතාට ලිඛිතව දැනුම් දී තිබුණි. ඒ අනුව ධම්මික පෙරේරා මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස මීළඟට පාර්ලිමේන්තුව රුස්වෙන ජූනි මස 21 වැනිදා දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.