2022 ජුනි 12 වන ඉරිදා

විනිමය කළු කඩයේ ඩොලර් පවුම් විකිණුම් මිල බසී!

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:02 546

I ව්‍යාපාරික වාර්තාකරු

කොළඹ නිල නොවන මුදල් වෙළෙඳපොළේ (කළු කඩයේ) අමෙරිකානු ඩොලරය ඇතුළු විදේශ මුදල් විකිණුම් මිල ගණන් සෑහෙන පමණ අඩු වී තිබේ. මෙයට මාස දෙකකට පමණ පෙර ඩොලරයක විකිණුම් මිල සම්මත බැංකු විනිමය අනුපාතයට වඩා රු. 75/- ඉක්මවූ අවස්ථා තිබිණි. එහෙත් දැන් මහ බැංකුවේ සම්මත විනිමය අනුපාතය අනුව ඩොලරයක විකිණුම් මිල රු. 365/- ක් ලෙස සටහන් වෙද්දී කළු කඩයේ ඩොලරය රු. 379/- ක් ලෙස වාර්තා විය. එහි පරතරය රු. 14/- කට අඩුවීම විශේෂ සිදුවීමකි.

ඒ අතර මහා බ්‍රිතාන්‍ය පවුමේ අලෙවි මිල රු. 468/- ක් ලෙස මහ බැංකුව සටහන් කරද්දී එය කළු කඩයේ අලෙවි වන්නේ රු. 472/- ක මුදලකටයි. එහි පරතරය රු. 4/- කි. යුරෝ මුදල් ඒකකය සඳහා මහ බැංකුව නිකුත් කළ අලෙවි කරන මිල රු. 395/- කි. එය කළු කඩයේ අලෙවි කරන්නේ  රුපියල් 400/- මිලකටය. බ්‍රිතාන්‍ය පවුම සහ යුරෝ මුදල් අලෙවියේදී කළුකඩ ව්‍යාපාරිකයන් අය කරන මිල සෑහෙන පමණ අඩුවීමද කැපී පෙනේ.