I දේශපාලන වාර්තාකරු
ශ්‍රී ලංකාව හා රුසියාව අතර වසර 64ක් පුරා පවත්නා තානාපති සබඳතා දැඩි අර්බුදයකට ලක් කිරීමට ''ඒරොෆ්ලොට්'' ගුවන් යානය රඳවා ගැනීමේ සිද්ධිය හේතු වී තිබේ.
අධිකරණ නියෝගයක් මත රුසියානු ගුවන් යානය මෙරට රඳවා ගැනීම ගැන විරෝධය පලකිරීමට එරට ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා අබේවික්‍රම ඊයේ රුසියා විදේශ අමාත්‍යංශයට කැඳවීය. ඒ අවස්ථාවේ වහා මෙම ප්‍රශ්නය විසඳන ලෙස රුසියාව ශ්‍රී ලංකාවට නිල වශයෙන් දැන්වීය. ''ඒරොෆ්ලොට්'' සමාගමද මෙම සිද්ධියට විරෝධය පලකරමින් ශ්‍රී ලංකාව හා රුසියාව අතර ගුවන් ගමන් නවතා දැමීය.
මෙම අර්බුදය වහා විසඳා නොගතහොත් සතිපතා ''ඒරොෆ්ලොට්'' යානා තුනකින් රුසියානු සංචාරකයන් දහසක් (1000ක්) පමණ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සකස්කර තිබූ සැලසුමද කඩාකප්පල් වෙයි. ඒ අතර මෙරට තේ නිෂ්පාදනවලින් 15%ක් පමණ මිලට ගන්නා රුසියාව ඒ සම්බන්ධයෙන්ද තීන්දුවක් ගැනීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි. මෙයට අමතරව රුසියාවෙන් අඩු මිලට ඉන්ධන ලබාගැනීම සඳහා ආරම්භ කර තිබූ සාකච්ඡාද ''ඒරොෆ්ලොට්'' සිද්ධිය නිසා අනතුරට ලක්ව තිබේ.