2022 මැයි 08 වන ඉරිදා

ඇඟලුම් කම්හල් වහන්න යනවා - නි.වෙ.ක පොදු සේවක සංගම් සභාපති

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 58

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

රටේ දේශපාලන අස්ථාවරත්වය දිගටම පැවතීම සහ විදුලිය හා ඉන්ධන ලබාගැනීම දුෂ්කර වීම නිසා තවදුරටත් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවාද යන්න පිළිබඳව සලකා බැලීමට සිදුවන බව මෙරට ඇඟලුම් කම්හල් පවත්වාගෙන යන ආයෝජකයන් ප්‍රකාශ කර ඇතැයි නිදහස් වෙළෙඳ කලාපයේ හා පොදු සේවක සංගමයේ සභාපති ඇන්ටන් මාකස් මහතා සඳහන් කරයි.

සාමාන්‍යයෙන් ඇඟලුම් අපනයනය කෙරෙන්නේ නැව් මගින් වුවද විදුලිය හා ඉන්ධන අර්බුදය හේතුවෙන් සිදු වූ ප්‍රමාදය නිසා ඒවා ගුවන් මගින් අපනයනය කිරීමට සිදුවීම  නිසා අපනයනකරැවන්ට විශාල පිරිවැයක් දැරීමට සිදු වී ඇත. ඒ සඳහා ඩොලර්වලින් ගෙවීමටද සිදුවී තිබේ. මේ වන විට ලංකාවට ඩොලර් ලැබෙන එකම මාර්ගය ඇඟලුම් කර්මාන්තය වන හෙයින් එය වැසී ගියහොත් ශ්‍රී ලංකාවට දරුණු ඉරණමකට මුහුණ පෑමට සිදුවනු ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

මේ වන විට නිපදවෙන්නේ මේ වසරේ මුල් මාස හය සඳහා ලද ඇණවුම් වන අතර ඉදිරි මාස හය සඳහා ශ්‍රී ලංකාවට ඇණවුම් ලැබේද යන්න සැක සහිත බවත් මේ සම්බන්ධයෙන් සේවායෝජක සමාගම් සහ ව්‍යාපාරික ප්‍රජාව නිසි ලෙස රජය දැනුම්වත් කර නොමැති බැවින් ඒ පිළිබඳව තම සංගමය රජයට කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි ද ඔහු පැවසීය. 

පවතින දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ඇඟලුම් කර්මාන්තය කඩා වැටෙමින් පවතින බවත්, එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් ඇඟලුම් කර්මාන්තයේ ඍජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයකට එය බලපානු ඇති බවත් කොළඹ ව්‍යාපාරික සංගමයේ ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහතා ප්‍රකාශ කරයි. ලංකාවට විදේශ විනිමය ගෙන එන ප්‍රධානතම ක්ෂේත්‍රයක් වන ඇඟලුම් කර්මාන්තයේ ලක්ෂ තුනහමාරක පමණ පිරිසක් රැකියාවේ නිරත වන අතර ඉදිරි මාස දෙකක පමණ කාලයක් තුළ ඔවුන්ගේ රුකියා විශාල අවදානමකට පත්විය හැකි බව ඔහු වැඩිදුරටත් කීය.