2022 මාර්තු 06 වන ඉරිදා

එහෙම කළොත් ඩොලරය 240 වේවි - මහ බැංකු අධිපති

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:00 56

I ව්‍යාපාරික වාර්තාකරු

මහ බැංකුව විසින් දැනට පාලනය කරමින් රුපියල් 203 අනුපාතයේ රඳවාගෙන සිටින විනිමය අනුපාතය නිදහසේ පාවෙන්නට ඉඩ හැරියහොත් ඩොලරයක වටිනාකම රුපියල් 240/-ක් පමණ විය හැකි බවත්, එසේ වුවහොත් රජය විසින් ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 1400කින් (රුපියල් කෝටි එක්ලක්ෂ හතළිස් දහසකින්) පමණ ඉහළ යන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දේශයට පැවසීය.

ඊට අමතරව පොලී අනුපාතයද ඉහළ යන බව පැවසූ අධිපතිවරයා රජය විසින් නිකුත් කර ඇති භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර වෙනුවෙන් ගෙවිය යුතු පොලිය තවත් රුපියල් බිලියන 400කින් (රුපියල් කෝටි හතළිස් දහසකින්) පමණ වැඩිවන බවද පෙන්වා දුන්නේය.

තමන් මෙම තත්ත්වය ගැන අවබෝධයෙන් ක්‍රියා කරන බව පැවසූ හෙතෙම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි මුල්‍ය ආයතනවලින් ආර්ථික සහාය ලබාගන්නේ නම් විනිමය අනුපාතය පාවෙන්නට ඉඩ හැරීම, ඍජු හා වක්‍ර බදු ඉහළ දැමීම, රාජ්‍ය සේවය කප්පාදු කිරීම, දිරි දීමනා කපා හැරීම වැනි කොන්දේසිවලට යටත් වීමට සිදුවන්නේ යැයිද සඳහන් කළේය.