2022 මාර්තු 06 වන ඉරිදා

රුපියල පා කරන්න බදු වැඩි කරන්න - මූල්‍ය අරමුදලෙන් රජයට නිර්දේශ

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:00 69

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ආදායම් බදු සහ වැට් බදු අනුපාතය අවම හෙයින් ආදායම් වර්ධනය සඳහා වැට් සහ ආදායම් බදු ඉහළ දැමිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට නිර්දේශ කර ඇත. බදු අයකරන පිරිස වැඩි කළ යුතු බවටද, රටේ ආර්ථිකය ප්‍රතිසංවිධානය කරගත යුතු බවටද එමගින් නිර්දේශ කර තිබේ. ඒ අතර කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දියත් කළ සාර්ථක එන්නත්කරණ වැඩසටහනට විශේෂ ප්‍රශංසාවක්ද පිරිනමා ඇත.

ආර්ථිකය විවිධාංගිකරණය කිරීමට ආනයන සීමා ඉවත් කළ යුතු වන අතර කාන්තාවන්ට වැඩිපුර රැකියා ලබාදීම සහ තරුණයන්ගේ විරැකියාව අවම කිරීමටද රජය පියවර ගත යුතු යැයි එම නිර්දේශවල සඳහන්ය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය මාර්තු 2 වැනි දින ඉහත කී නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ පසුගිය දෙසැම්බරයේ එහි ඉහළ නියෝජිත පිරිසක් මෙරටට පැමිණ කළ ''ආර්ටිකල් 4'' නමින් හඳුන්වන නිරීක්ෂණයකින් අනතුරුවය.

යට කී නිර්දේශවලට අමතරව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කළ යුතු වන අතර රැපියල පාවෙන විනිමය අනුපාතිකයක් ලෙස පවත්වාගෙන යා යුතු බවද දක්වා තිබේ.

දැනට පවතින මූල්‍ය තත්ත්වය තවදුරටත් පැවතියහොත් ඉදිරියේදී භාණ්ඩ මිල ඉහළ යාම, කෘෂි නිෂ්පාදනය පහත වැටීම, බැංකුවල වත්කම් පිරිහීම වැනි දේ සිදුවිය හැකි බවට මූල්‍ය අරමුදල අනතුරු අඟවා තිබේ.