2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා

යුක්රේන සංචාරකයෝ හාරදහසක් ලංකාවේ හිරවෙලා

 2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා, පෙ.ව. 10:04 208

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වාl

මේ වන විට නිර්මාණය වී ඇති රුසියානු යුක්රේන අර්බුදය හේතුවෙන් දැනට ශ්‍රී ලංකාවේ සිරවී සිටින යුක්රේන සංචාරකයන් 4100ක පමණ පිරිසක් ආරක්ෂාකාරී ලෙස එරටට යැවීමට සංචාරක නියෝජිතයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය දේශයට ප්‍රකාශ කළාය.

පසුගිය ජනවාරියේ සිට පෙබරවාරි 24 දක්වා රුසියානු සංචාරකයන් 26,597ක්  සහ යුක්රේන සංචාරකයන් 12479ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඔවුන්ගෙන් රුසියානු සංචාරකයන්ට යළි තම රටවලට යෑමට ගැටලුවක් නොමැති වුවද යුක්රේනයට ඍජු ගුවන් ගමන් නොපැවැත්වෙන බැවින් ඔවුන් යුක්රේනය ආසන්නයේ ඇති වෙනත් රටකට යැවීමට කටයුතු කරමින් සිටින බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

යුක්රේනයේ ශ්‍රී ලාංකිකයන් සිටින්නේ 25 දෙනකු පමණ පිරිසක් බවත් ඔවුන් මේ වන විට යුක්රේනයෙන් පිටව ඇති බවත් විදේශ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් දේශයට පැවසීය.

ශ්‍රී ලංකා තේ සඳහා ප්‍රධානතම ගැනුම්කරුවකු වන්නේ රුසියාව වන අතර ඔවුන් වාර්ෂිකව ඩොලර් මිලියන 150ක පමණ තේ මිලට ගනී. නිර්මාණය වී ඇති අර්බුදය හමුවේ අපේ තේ වෙළඳාමටද යම් බලපෑමක් ඇතිවිය හැකි යැයි ව්‍යාපාර අංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ වන විට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රුසියාවට සම්බාධක පැනවීමට පියවර ගෙන තිබේ. එම ආර්ථික සම්බාධක නොතකමින් රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට පියවර ගැනීමත් සමඟ වසර හතකට පමණ පසු පළමු වතාවට පසුගිය සිකුරාදා බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 105.08 දක්වා ඉහළ ගියේය. රුසියානු මුදල් ඒකකය වන රෑබලය  ඩොලරයට හා යුරෝවට සාපේක්ෂව මෙතෙක් වාර්තා වූ අවම අගයකට වැටී ඇති අතර ලන්ඩන් කොටස් වෙළඳපොළේ ප්‍රමුඛතම FTSE 100 දර්ශකය ආරම්භ වී සුළු මොහොතක් තුළ ඒකක 200කින් පමණ පහත වැටී තිබේ.