I සංජීවිකා සමරතුංග
ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලට යුද අපරාධ චෝදනා එල්ල කරන දෙමළ ඩයස්පෝරාවේ හිතවතියක වන නීතිඥ යස්මින් සුකා සමඟ නඩු කීම සඳහා මුදල් සපයා ගැනීමට ලන්ඩනයේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ලේකම් ජෙයරාජ් පලිහවඩන මහතා ඉරිදා දිනවල ලන්ඩන් නගරයේ ''ලම්ප්‍රයිස්'' විකුණන බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පවසයි.
යස්මින් සුකාගේ කොටි සබඳතා සමාජ මාධ්‍යයේ හෙළි කළ ජෙයරාජ් පලිහවඩන මහතාට එරෙහිව ඇය විසින් පවරා ඇති නඩුවේ වියදම් සඳහා අවශ්‍ය බ්‍රිතාන්‍ය පවුම් 70,000ක් සපයා ගැනීමට මෙම කෑම විකිණීමේ ව්‍යාපාරය ආරම්භ කර ඇති බව ලන්ඩනයෙන් වාර්තා වෙයි. දැනටමත් මෙම නඩුව සඳහා පලිහවඩන මහතා විසින් පවුම් 36,000ක් පමණ වැයකර ඇතැයි වාර්තා වෙයි.
යස්මින් සුකා සමඟ දියත් කර ඇති නීතිමය සටන සඳහා අවශ්‍ය ඉතිරි මුදල් ඔහු බරක් නොවී සපයා ගැනීමට ''ලම්ප්‍රයිස්'' ව්‍යාපාරය අරඹා තිබේ.
එක් ආහාර පැකට්ටුවක් බ්‍රිතාන්‍ය පවුම් 10ක් බැගින් මිල කොට අලෙවි කිරීම ඉරිදා දිනවල සිදුකරන අතර ඒ සඳහා ශ්‍රී ලාංකික ජනතාවගෙන් හොඳ ප්‍රතිචාරයක් ඇතැයිද සඳහන් වෙයි. යම් හෙයකින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ලන්ඩන් ලේකම්වරයා මෙම නඩුව පරාජයට පත්වුවහොත් ඔහුට බ්‍රිතාන්‍ය පවුම් දෙලක්ෂ විසිපන්දහසක වන්දියක් නීතිඥ යස්මින් සුකාට ගෙවීමට සිදුවන බව එම සංසදය වැඩිදුරටත් පවසයි. මෙම ගැටලුකාරී තත්ත්වය මධ්‍යයේ වුවද රටට හිතැති ශ්‍රී ලාංකිකයන් පිරිසක් සමඟ මෙවරද ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත ගොස් රණවිරුවන් වෙනුවෙන් කරුණු දැක්වීමට ජෙයරාජ් පලිහවඩන මහතා ඇතුළු සංසද සාමාජිකයන් කටයුතු කරමින් සිටින බවද ලන්ඩනයෙන් වාර්තා වෙයි.