2022 ජනවාරි 22 වන සෙනසුරාදා

මත්පැන් ස්ටිකරයෙන් බිලියන 60ක ආදායමක් - මහ බැංකු අධිපති කබ්රාල්

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:04 239

I දේශපාලන වාර්තාකරු

මත්පැන් බෝතල් සඳහා ආරක්ෂක ස්ටිකරය ඇලවීමේ නීතිය ක්‍රියාත්මක කළ පසු දැනට වාර්ෂිකව රජයට අහිමි වන රුපියල් කෝටි 6000ක (රුපියල් බිලියන 60ක) ආදායමක් උපයාගත හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දේශයට කීය.

රජය දැනට කර තිබෙන නිල ගණන් බැලීම අනුව මසකට නීති විරෝධී මත්පැන් නිසා රජයට මසකට රුපියල් කෝටි 50ක පමණ ආදායමක් අහිමි වෙයි. එමනිසා මෙම ස්ටිකර් වැඩපිළිවෙළට ඇතැම් පාර්ශ්ව අකුල් හෙළමින් අකර්මණ්‍ය කිරීමට තැත් කරන බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කීය. ස්ටිකරය මුද්‍රණය සඳහා ටෙන්ඩර මගින් තෝරාගත් විදේශීය සමාගමට මේ සඳහා වාර්ෂිකව ගෙවනු ලබන්නේ රුපියල් කෝටි 150ක පමණ මුදලක් බවද හෙතෙම සඳහන් කළේය.

ඒ අතර මත්පැන් අලෙවිකරුවන් සහ ඔවුනට හිතවත් ඇතැම් රාජ්‍ය නිලධරයන් මෙම ස්ටිකර වැඩසටහනට දැඩි විරෝධය දක්වන්නට පටන්ගෙන ඇති බවද වාර්තා වෙයි. මෙම විරෝධය පිටුපස හිටපු අමාත්‍යවරයෙක් සහ තවත් ප්‍රමුඛ ව්‍යාපාරිකයන් සහ ඔවුන්ට හිතවත් නිලධාරීන් පිරිසක් සිටින බවද වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.