2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

ජනවාරියේ ඉන්දියාවෙන් ආර්ථික පැකේජයක්

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 78

රාජ්‍යතාන්ත්‍රික වාර්තාකරු l

පවත්නා දුෂ්කර ආර්ථික ගැටලු සමනය කර ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදෙන ආර්ථික පැකේජය ලබන ජනවාරි මාසයේ නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සහ විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට දැනුම් දුන්හ.

එම ආර්ථික පැකේජය විදේශ සංචිත තර කර ගැනීම, ආහාර හා ඖෂධ සැපයුම, බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සහ ආයෝජන යන අංශවලට අදාළ වන බවද ඉන්දීය අමාත්‍යවරැ වැඩිදුරටත් පවසා තිබේ.

දැනටමත් ඉන්දීය මුදල් අමාත්‍යංශය විසින් අනුමත කර ඇති ශ්‍රී ලංකාව සම්බන්ධ ආර්ථික පැකේජය එරට අමාත්‍ය මණ්ඩලය ජනවාරියේදී අනුමත කරනු ඇති බවද සඳහන්ය. ඊට අදාළ ශ්‍රී ලංකාවේ යෝජනා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එරට ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ යන මහත්වරු ඉන්දීය රජයට දැනුම් දී තිබිණි.

මේ ගැන සාකච්ඡා කිරීමට බැසිල් රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල හා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ යන මහත්වරැ ඉන්දීය මුදල් ඇමැතිනිය හා විදේශ අමාත්‍යවරයා පසුගියදා වාර දෙකක්ම හමුවූහ.