2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

නුවරඑළියේ අල-එළවළු ගොවීන්ගේ ආදායම් සරුයි - මහ දිසාපති

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 65

I ව්‍යාපාරික වාර්තාකරු

නුවරඑළියේ අල සහ එළවළු ගොවීන් මෙම කන්නයේ සියයට සිය ගුණයකින් (100%) තම ආදායම වැඩි කරගෙන ඇතැයි නුවරඑළිය මහ දිසාපති නන්දන ගලගොඩ මහතා දේශයට පැවසීය.

පසුගිය කාලයේ පැවති තොග මිල යටතේ රුපියල් 65/-ට අලෙවි වූ කැරට් කිලෝව දැන් එහි අලෙවි කෙරෙන්නේ රුපියල් 260/-ක තොග මිලටය. රුපියල් 40/-ක තොග මිලට අලෙවි වූ සලාද කොළ දැන් තොග මිල රුපියල් 600/-කි. ලීක්ස් තොග මිල කිලෝව කලින් රුපියල් 45/-ක් වුවද දැන් රුපියල් 300/-කි. අර්තාපල් අල කිලෝවක කලින් තොග මිල රුපියල් 80/-ත් 100/-ත් අතර පැවතුණි. දැන් අල තොග මිල රුපියල් 220/-කි.

මේ ආකාරයට එළවළු මිල ගණන් ඉහළ ගියේ පසුගිය මාස තුනේම නුවරඑළියට දැඩි වර්ෂාපතනයක් ලැබුණු බැවින් යැයි අවධාරණය කළ දිසාපතිවරයා සැප්තැම්බර් මාසයේ දින 23ක්, ඔක්තෝබර් මාසයේ දින 22ක්, නොවැම්බර් මාසයේ මේ වන විට දින 21ක් නුවරඑළියට අධික වැසි ලැබී තිබූ බව පැවසීය. එය අස්වනු හානියට බලපා ඇති නමුත් රසායනික පොහොර අර්බුදයක් මෙහි තවමත් හටගෙන නැති බවද ඔහු පැවසීය. ඊට හේතුව නුවරඑළියේ ගොවීන් තම වගාවන්ට යොදන පොහොරවලින් 70%ම ගොම, කුකුළු සහ එළු පොහොර නිසා බවද දැනට මෙහි රසායනික පොහොර යොදන්නේ 30%ක බිම් ප්‍රමාණයකට බවද දිසාපති ගලගොඩ මහතා සඳහන් කළේය.