2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

මහපොළ සභාපතිකමින් අගවිනිසුරු ඉවත්වෙයි?

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 129

I අධිකරණ වාර්තාකරු

දැනට මහපොළ භාරකාරිත්ව අරමුදලේ සභාපති ධුරය හොබවන අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය මහතා එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි අලුත්කඩේ අධිකරණ ආරංචි මාර්ග කියයි.

මහපොළ අරමුදල සම්බන්ධයෙන් නොයෙකුත් නීතිමය ගැටලු සහ නඩුහබ පවත්නා බැවින් අගවිනිසුරුවරයා එහි සභාපතිත්වය දැරීම අයෝග්‍ය බැවින් ඔහු මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වෙයි. මෙයට පෙර සිටි අගවිනිසුරුවරයකු වන ප්‍රියසාත් ඩෙප් මහතා ද අගවිනිසුරුවරයා මෙම තනතුර දැරීම අයෝග්‍ය බව එදා පැවති රජයට පෙන්වා දී තිබිණි.

හිටපු වෙළෙඳ අමාත්‍යවරයකු වූ දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් මහපොළ භාරකාරිත්ව අරමුදල ස්ථාපිත කරන සමයේ එහි ස්වාධීනත්වය රැකීම පිණිස අගවිනිසුරුවරයාට නිල බලයෙන් එහි සභාපති ධුරය හිමිවිය යුතු යැයි වගන්තියක් මහපොළ පනතට ඇතුළත් කර තිබිණි.

කෙසේ හෝ වත්මන් අගවිනිසුරුවරයා මෙම තනතුරින් ඉවත් වූ පසු ඊට අදාළ පනත සංශෝධනය කොට විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු සභාපතිත්වයට පත්කිරීමට මහපොළ විෂය භාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා තීරණය කර ඇත.

මේ වන විට සරසවි සිසුන්ට වාර්ෂිකව ශිෂ්‍යත්ව 16,000ක් පිරිනැමෙන මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ දැනට තැන්පත් වී තිබෙන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 14කි. (කෝටි 1400කි.) එම මුදල් උපයෝගී කරගෙන එක් සිසුවකුට මසකට රු. 5,000ක පමණ ශිෂ්‍යාධාරයක් පිරිනැමෙයි.