2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

ඇමති සබ්‍රි ඉල්ලා අස්වීම අස්කරගනී

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 235

දේශපාලන වාර්තාකරු l

ගිය සිකුරාදා සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසුන අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ඔහු මෙතෙක් දැරූ අධිකරණ අමාත්‍ය පදවියෙන් සහ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ තීරණය ඉවත්කර ගැනීමට එකඟ වූ බව වාර්තා වෙයි.

සිය තීරණය සම්බන්ධයෙන් නැවත සිතා බලන්නැයි ජනාධිපතිතුමා සබ්‍රි මහතාගෙන් කළ ඉල්ලීම ඔහු විසින් පිළිගත්තේ (එක රටක් - එක නීතියක්) කාර්යසාධක බලකායට අදාළ නීති සංශෝධනය සඳහා ජනාධිපතිවරයා එකඟත්වය පලකිරීමෙන් පසුවය. ඊට අදාලව ඉදිරි සතියේදි විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට නියමිතය.

බොදු බලසේනා සංවිධානයේ සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තමන්ගේ අනුදැනුමකින් තොරව එක රටක් එක නීතියක් කාර්යසාධන බලකායේ සභාපති ධුරයට පත්කිරීම ගැන අමාත්‍ය සබ්‍රි දැඩි කනස්සල්ලෙන් පසුවිය. අග්‍රාමාත්‍යවරයාට සහ කතානායකවරයාටද ඔහු මේ ගැන සිය අප්‍රසාදය පලකර තිබිණි.

මෙයට සතියකට පෙර පමණ රජයෙන් ඉවත්වීමේ තීන්දුව ගත් සබ්‍රි මහතා ජනාධිපතිවරයා හමුවීමෙන් පසුව සිය තීරණය ප්‍රකාශ කිරීමට සැලසුම්කර තිබුණි. ඔහු තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය පවා මෙයට සතියකට පමණ පෙර කෙටුම්පත් කර තිබූ බව වාර්තා විය. ඒ සමඟ තමන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට කොළඹ, මල්පාරේ පීච් වැලි අවන්හලේදී සමුගැනීමේ සාදයක්ද පැවැත්වූ බව කියැවිණි.

මෙම සතියේ ඔහු පසුගිය වසර දෙකේ තමන් යටතේ අධිකරණ අමාත්‍යංශයේ සේවා ප්‍රගතිය ඇතුළත් විශේෂ වාර්තාවක්ද නිකුත් කර තිබිණි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සමඟ ජනාධිපති මන්දිරයේදි සිකුරාදා සවස පැවැති දීර්ඝ සාකච්ඡාවකින් පසුව අමාත්‍ය සබ්‍රි සිය තීරණය වෙනස් කළ බව වාර්තා වෙයි. මෙම සාකච්ඡාවට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බි. ජයසුන්දර සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතාද සහභාගි වූහ.