2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා

“ස්ලිට්” මගඩිය උසාවියට

 2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 36

I දේශපාලන වාර්තාකරු

මහපොළ අරමුදලේ මුදල් යොදවමින් 1998 වසරේ ආරම්භ කරන ලද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) රාජ්‍ය අයිතියෙන් ඉවත්කොට පෞද්ගලික අයිතියට පත් කිරීමේ අන්ත දූෂිත ගනුදෙනුවක් ගැන පාර්ලිමේන්තුවේ කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාව මැතිසබයට වාර්තා කර තිබේ.

එම කෝප් වාර්තාව අනුව මහපොළ අරමුදලින් රුපියල් මිලියන 500ක් යොදවා මාලබේ ප්‍රදේශයේ අක්කර 25ක ඉඩමක් මිලට ගෙන ආරම්භ කරන ලද මෙම ආයතනය එහි අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකු විසින් තම අයිතියට පත්කර ගැනීමට ක්‍රියාකළ බවට බරපතළ චෝදනාවක් එල්ලකර තිබේ. වසර 1998දී නිල බලයෙන් පත්වූ මෙම අධ්‍යක්ෂවරුන් ඔවුන්ගේ නිල බලය හමාර වී තිබියදීත් අඛණ්ඩව වසර 23ක් අධ්‍යක්ෂ මණ්ඩලයේ රැඳී සිටිමින් මෙම ක්‍රියාවට මූලික වී ඇති බව වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.

කෝප් වාර්තාව කියන්නේ රජයේ මහපොළ අරමුදල සතු වත්කම් එම ආයතනය පාලනය කළ අධ්‍යක්ෂවරුන්ගේ අයිතියට ලබාදීමට දූෂිත ලෙස ක්‍රියාමාර්ග ගෙන ඇති බවය. 2017 වසරේ මැයි මස 04 දින කැබිනට් පත්‍රිකාවක් මගින් ආයතනයේ අයිතිය මහපොළ අරමුදලින් ඉවත් කිරීමට තැත්කර ඇති බවද එම ලිඛිත වාර්තාවේ සඳහන්ය.

මේ සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශේෂ විගණන වාර්තාවෙහි සඳහන් වන්නේ මෙම ආයතනය ආරම්භයේදී තමන් දැරූ රජයේ තනතුරු අනුව (නිල තත්ත්වයෙන්) අධ්‍යක්ෂවරු ලෙස පත්වූ තිදෙනකු එම නිල තත්ත්වය අවසන් වුවද එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ රැඳී සිටිමින් ක්‍රියාකර ඇති බවයි. තිලාන් මහජිත් විජේසිංහ, මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක සහ ආචාර්ය ගමගේ ලලිත් දීප්ති කුමාර යන අය එලෙස වසර 23ක කාලයක් එම තනතුරු දරා ඇති බවද සඳහන්ය.

මේ ගැන දේශය කළ විමසුමකට පිළිතුරු මහපොළ විෂය භාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ සිය අමාත්‍යංශය මේ ගැන පොදු දේපළ පනත යටතේ දැඩි නීතිමය පියවර ගැනීමට තීන්දු කර ඇති බවය. ඊට අවශ්‍ය නීතිපති උපදෙස් ලබාගන්නා බවත් මෙම ආයතනය නැවතත් වහාම රජයට පවරා ගැනීමට අවශ්‍ය අණපනත් ගෙන ඒමට අපේක්ෂා කරන බවත් අමාත්‍ය ගුණවර්ධන වැඩිදුරටත් කීය.