2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

අලුත් ව්‍යවස්ථාව සති දෙකකින්

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 275

I දේශපාලන වාර්තාකරු

තවත් දෙසතියකින් යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සාකච්ඡාව සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා මේ සතියේ අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන්නේය.

මෙම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කරන ලද්දේ ව්‍යවස්ථා නීතිය පිළිබඳ කීර්තිමත් නීති විශාරදයකු වන ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රමුඛ කෙටුම්පත් කමිටුවක් විසිනි. ඒ සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලේම සාක්ෂි සහ යෝජනා ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුව විසින් ලබා දුනි. එහෙත් කමිටුව හමුවේ පෙනී සිටි පොහොට්ටුව (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) සිය පක්ෂය මෙයට යෝජනා ඉදිරිපත් නොකරන බව දැන්වීය. 

කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩලයට ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කොට දීර්ඝ සංවාදයකට ලක් කිරීම රජයේ සැලසුමයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රතිඥා දුන් ආකාරයට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලබන වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගන්නට අපේක්ෂා කරන බව පසුගියදා අනුරාධපුරයේදීද ප්‍රකාශ කර තිබිණි.