2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා

රාජ්‍ය - පෞද්ගලික ආයතනවලට කොවිඩ් නිලධාරීන් පත් කරන්න - මහාචාර්ය අර්ජුන

 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 98

I සංජීවිකා සමරතුංග

නැවත රට විවෘත කිරීමේදී සියලුම රජයේ සහ පෞද්ගලික ආයතනවලට විශේෂ කොවිඩ් නිලධාරියකු පත් කළ යුතු බව රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතා දේශයට පැවසීය.

මෙවැනි කොවිඩ් නිලධාරියකු පත් කරන්නේ ඒ අදාළ ආයතනයේ සියලුම සේවකයන්ට බලපාන කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් පවතින තත්ත්වය අධීක්ෂණය කිරීමටයි. එසේම රෝග ව්‍යාප්තිය වැළැක්වීමට කළ යුතු කාර්යභාරයද ඉටුකිරීම ඔහුගේ වගකීම විය යුතුය.

රාජ්‍ය සහ පෞද්ගලික ආයතන විවෘත කිරීමේදී ඒවා සඳහා නියමිත සේවකයන්ගෙන් 25%ක් වරකට සේවය සඳහා කැඳවිය යුතුය. ප්‍රවාහනයේදීද එම පිළිවෙත අදාළ විය යුතුය. මේ හැර සුපිරි වෙළෙඳසල් වැනි වාණිජ මධ්‍යස්ථානවලට පාරිභෝගිකයන් ඇතුළත් කර ගැනීමේදීද 25% සීමාව අනිවාර්ය විය යුතු යැයි මහාචාර්යවරයා වැඩිදුරටත් කීය.

රටේ සමස්ත ජනගහනයෙන් 70%ක් පමණ එන්නත් කළ විට එන්නතේ ප්‍රතිශක්තිය පිළිබඳව දත්ත ලබාගැනීම සිදු කළ යුතු යැයි පැවසූ මහාචාර්යවරයා ප්‍රතිශක්තියේ ස්වභාවය අනුව 3 වැනි එන්නත් මාත්‍රාවක් ලබාදීම සිදු කළ යුතු බව කීය. එහිදී ප්‍රමුඛතාවය හිමිවිය යුත්තේ රෝග පාලන කටයුතුවල යෙදී සිටින සෞඛ්‍ය සේවකයන් වැනි ඉදිරි පෙළ කාර්ය මණ්ඩලවලට බව හෙතෙම සඳහන් කළේය.