2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා

හැංගූ ඩොලර් අදින්න මහ බැංකුව සැරසෙයි

 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 29

ව්‍යාපාරික වාර්තාකරුI

මේ වසරේ ගතවූ මාස 9ක කාලය තුළ මාසික අපනයන ආදායම ලෙස වාර්තාගත වූ ඩොලර් මිලියන 985ක මුදලින් අපනයනකරුවන් මෙරටට රැගෙනවිත් ඇත්තේ දළ වශයෙන් මසකට ඩොලර් මිලියන 640කි.

ඒ අනුව අපනයනවලින් රටට ලැබිය යුතු ආදායමින් මාසිකව ඩොලර් මිලියන 345ක් බැගින් අහිමි වී තිබේ. මෙය රටේ ඩොලර් හිඟය උග්‍ර කරවීමට බලපෑ ප්‍රධාන හේතුවක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකු අධිපති අජිත් කබ්රාල් මහතාගේ මහ බැංකුවේ නව මාර්ග සැලසුම අනුව අපනයනකරුවන්ගේ ආදායම නිසි පරිදි රටට ලබාගැනීමේ පිළිවෙතක් සම්පාදනය කර ඇත. ඒ අනුව අපනයන ආදායමින් උපයන මුදල් සියයට සියයක් රටට ගෙන ඒමට අපනයනකරුවෝ දිරිමත් කෙරෙති. පසුගිය කාලයේ එලෙස අපනයන ආදායමින් කොටසක් විදේශ මුදල් ලෙස රටේ මුදල් ප්‍රවාහයට එකතු නොකිරීම නිසා අහිමි වී ඇති මුදල අමෙරිකානු ඩොලර් කෝටි 190ක් පමණය. ඒවා තවමත් විදේශ ගිණුම්වල රඳවා ඇත.

මේ හේතුවෙන් රටේ මාසික අපනයන වියදම වන අමෙරිකානු ඩොලර් මිලියන 1670 පියවීමේ ගැටලුවක් උද්ගතව තිබේ. මුළු අපනයන ආදායම වන ඩොලර් මිලියන 985ම රටට ලැබුණේ නම් අපනයන ආදායම හා ආනයන වියදම අතර පරතරය ඩොලර් මිලියන 685කි. නමුත් දැන් රටට ලැබෙන්නේ අපනයන ආදායමින් ඩොලර් මිලියන 640ක් නිසා මාසික ආනයන වියදම සහ අපනයන ආදායම අතර පරතරය ඩොලර් මිලියන 1030ක් දක්වා විශාල ලෙස වර්ධනය වීමෙන් ආර්ථිකය අර්බුදය කර තල්ලු වූ බව මහ බැංකුව පවසයි.