2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

2021 අ.පො.ස. උ.පෙළ

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 77

විභාගය පෙබරවාරියට කල් දමන්න

- උසස් පෙළ සිසු එකමුතුව

I දේශපාලන වාර්තාකරු

ලබන නොවැම්බර් මස පැවැත්වීමට යෝජිත 2021 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගය 2022 වසරේ පෙබරවාරි මාසය දක්වා කල්දමන ලෙස 2021 උසස් පෙළ සිසු එකමුතුව නැමැති සංවිධානයක් ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

පවත්නා ඇඳිරි නීති තත්ත්වය තුළ අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය ජාලා දෙකක් ඔස්සේ සිසු සිසුවියන් 50,000ක් එකමුතු වී මෙම ඉල්ලීම රජයට ඉදිරිපත් කරන බව ඔවුන් යවන ලද විශේෂ ලිපියෙහි සඳහන්ය.

2019 පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය, ගුරු වර්ජනය, සෑම සිසු දරුවකුටම ඔන්ලයින් පහසුකම් ලබාගැනීම දුෂ්කර වීම, විධිමත් ලෙස ගතවූ කාලයේ වාර විභාග පවත්වා සිසු දරුවන්ගේ අගැයීම් නොකිරීම, ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පහසුකම් නොමැතිකම සහ සිසු සිසුවියන් මෙතෙක් එන්නත් නොකිරීම යන හේතු මත විභාගය කල්දැමිය යුතු යැයි මෙම සිසු එකමුතුව ඉල්ලා සිටියි.

මෙවර උසස් පෙළ විභාගය සඳහා සිසු සිසුවියන් ලක්ෂ 4ක් පමණ පෙනී සිටීමට නියමිතය. එයින් මෙම සිසු එකමුතුව සිසු දරු දැරියන් 1/8ක් පමණ නියෝජනය කරන බව සඳහන්ය.

 

කල් දැමීම සිසුන්ට අවාසියක්

- ජනාධිපති පෞ. ලේකම්

I දේශපාලන වාර්තාකරු

උසස් පෙළ සිසු එකමුතුවේ ඉල්ලීම අනුව මෙවර උසස් පෙළ විභාගය තවදුරටත් කල් දැමුවහොත් එය විභාග අපේක්ෂකයන්ට අවාසි සහගත ලෙස බලපාන බව මේ ගැන එම සිසු එකමුතුව සමග සාකච්ඡාවක් පැවැත්වූ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා දැනුම් දී තිබේ.

එම සාකච්ඡාවට පෙර 2021 අ.පො.ස. උසස් පෙළ විභාගයට අදාළ ගැටලු ගැන ජනාධිපති කාර්යාලය විශේෂ වාර්තාවක් ලබාගෙන ඇත.

කොවිඩ් වසංගතය අවසන් වන කාලවකවානුවක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි වීම, දිගින් දිගටම විභාග කල් යාමෙන් තරුණ රැකියා වියුක්තිය ඉහළ යාම, දේශපාලන පසුබිමක් සහිතව මාස දෙකක් තිස්සේ සිදුවන ගුරු වර්ජනයට බලපෑම් කිරීම පිණිස විභාග කල්දැමීමේ උත්සාහයක් ක්‍රියාත්මක වීම ආදී හේතු රාශියක් නිසා විභාගය කල් දැමීමේ අපහසුතාව ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දී ඇතැයි සඳහන්ය.

එසේම මෙම සිසු එකමුතුව නිර්මාණය කළ සමාජ මාධ්‍ය ජාලා දෙකේ දායකත්වය දරන අයගෙන් යම් පිරිසක් පාසල් දරුවන් නොවන අය බවද රජයට නිරීක්ෂණය වී ඇතැයි පැවසේ. මෙකී මාධ්‍ය ජාලා දෙකට සිසු සිසුවියන් නොවන අයටද ඇතුල්වීමට අවකාශ සලසා තිබේ. එබැවින් මෙය බහුතර උසස් පෙළ සිසු මතයද යන්නත් ගැටලුවක් බව ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා ප්‍රකාශ කළේය.