I සංජීවිකා සමරතුංග
හදිසි නීතිය පනවා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පත්කොට ගතවූ දින අටක කාලය තුළ පාලන මිල ඉක්මවා ඉහළ මිල ගණන්වලට අලෙවි කිරීමට රැස්කර තිබූ සීනි මෙට්‍රික් ටොන් 66,327ක් සහ සහල් කිලෝග්‍රෑම් ලක්ෂ 8ක් පමණ රජය අත්පත් කරගත් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් මේජර් ජෙනරාල් සෙනරත් නිවුන්හැල්ල මහතා දේශයට පැවසීය.
මෙලෙස සීනි අත්පත් කරගත්තේ ඒවා මිල වැඩිකිරීමේ අරමුණින් ගබඩා කර තිබූ ගබඩා 19කිනි. සහල් අත්පත් කරගත්තේ පොළොන්නරුවේ ප්‍රධාන සහල් මෝල් 6කිනි.
එම සහල් හා සීනි තොග පාලන මිලට අලෙවි කිරීමට සතොස ආහාර දෙපාර්තමේන්තුව සහ සමුපකාර වෙත දැනටමත් නිකුත් කර තිබේ.
එසේම ආහාර දෙපාර්තමේන්තුව හා සතොස ගබඩා මගින් සෙසු සුපිරි වෙළෙඳ සැල්වලටද සහල් සහ සීනි නිකුත් කෙරේ.
මෙලෙස සහල් අත්පත් කර ගැනීමෙන් පසු අදාළ මෝල් හිමියන්ට රජයේ පාලන මිලට අනුව ඒවා සඳහා මුදල් ගෙවා ඇත. ඉන්පසු මෝල් හිමියන් සමඟ පැවති සංවාදයකින් අනතුරැව ඔවුන් සාමාන්‍යයෙන් දෛනිකව වෙළෙඳපොළට නිකුත් කරන සහල් තොග සුපුරුදු ලෙස නිකුත් කිරීම ආරම්භ කර ඇතැයිද කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේය. ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා පමණක් සහල් කිලෝ හත් ලක්ෂ අසූහතරදහස් නවසිය හැටක් (7,84,960) වෙළෙඳපොළට නිකුත් කර ඇත.