2021 අගෝස්තු 28 වන සෙනසුරාදා

වෙළෙඳ පොළේ ගෑස් බාලයි? - විධායක අධ්‍යක්ෂ පාරිභෝගික අධිකාරිය

 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 60

I යසවර්ධන රුද්රිගු

දැනට වෙළෙඳ පොළේ අලෙවි වන ලිට්රෝ සහ ලාෆ් යන ගෑස් ප්‍රමිතියෙන් බාල වීම නිසා පාරිභෝගිකයා විශාල අසාධාරණයකට ලක්වන බවට පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ඉංජිනේරු තුෂාන් ගුණවර්ධන දේශය පුවත්පතට කීය.

ගෘහස්ථ ගෑස් සිලින්ඩර්වල බියුටේන් හා ප්‍රොපේන් යන ගැස් සංඝටක දෙක පිළිවෙළින් සියයට 80 හා 20 බැගින් අඩංගු විය යුතු නමුත් වෙළෙඳපොළේ ඇති සිලින්ඩරවල මේ දෙකම අඩංගු වන්නේ සියයට 50 බැගින් බව හෙතෙම අවධාරණය කළේය. පාරිභෝගික සේවා අධිකාරිය ගෑස් සිලින්ඩර් පරීක්ෂා කර මේ බව සොයා ගත්තේ යැයි ඔහු කියයි. මේ නිසා ආහාර පිසීම සඳහා වැඩිපුර ගෑස් ප්‍රමාණයක් සහ වැඩි කාලයක් වැයවෙයි. බියුටේන්වල තාප ධාරිතාව ඉහළ නිසා ඒවා වැඩිවන තරමට වාසිදායක වේ. ප්‍රොපේන් යනු කර්මාන්තශාලා ගෑස් වර්ගයකි.

මේ පිළිබඳ ලිට්රෝ සමාගමෙන් විමසූ විට එහි සභාපතිවරයා අප්‍රේල් මාසයේ ලියා දන්වා ඇත්තේ මෙම දෙවර්ගය සියයට පනහ බැගින් තිබීම නිසා වැඩිපුර ආහාර පිසීමට හැකි බවකි. එහෙත් මෙය අසත්‍යයක් බව විධායක අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි.

ජපානය සහ කැනඩාව ආදී රටවල අධික ශීත කාලවල ගෑස්වල ප්‍රොපේන් වැඩිකර බියුටේන් අඩුකරන බව පැවසේ. එහෙත් ශ්‍රී ලංකාවේ දේශගුණය අනුව ප්‍රොපේන් වැඩිකිරීම අවශ්‍ය නොවේ.

ගෑස් සිලින්ඩර් සඳහා නිසියාකාර ප්‍රමිති සහතිකයක් නොමැති අතර, දැනට ප්‍රමිතිය සහතික කර ඇත්තේ සිලින්ඩරයේ පීඩනය ගැන පමණකි. මේ වනවිට ගෘහස්ථ සහ කර්මාන්තශාලා ගෑස් සිලින්ඩර් පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් සහතිකයක් ලබා ගැනීමට කටයුතු කරගෙන යන බව විධායක අධ්‍යක්ෂවරයා දේශයට අනාවරණය කරයි.