2021 අගෝස්තු 28 වන සෙනසුරාදා

පේරාදෙණියෙන් අඩු වියදම් කොවිඩ් ටෙස්ට් කිට්

 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 38

I සුගත් පී. කුලතුංගආරච්චි

පේරාදෙණිය සරසවියේ පර්යේෂකයන් විසින් හඳුන්වා දුන් නිවැරදිව ප්‍රතිඵල පෙන්වන වියදම් අඩු අධි සංවේදී නවතම COVILAMP කොවිඩ් පරීක්ෂණ කට්ටල දේශීයව නිපදවීම සඳහා මිලියන 225ක පමණ ආයෝජනයක් මේ වන විට ලැබී ඇත.

මෙකී නවතම COVILAMP කොවිඩ් පරීක්ෂණයේ නිවැරදි බව නිසා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ - NMRA, තාක්ෂණික අනුමැතිය පසුගියදා එයට හිමිවිය.

මේ වන විට පේටන්ට් බලපත්‍ර සඳහාද අයදුම් කර ඇති මෙම පරීක්ෂණ කට්ටල සංවේදීතාව සහ නිරවද්‍යතාව අතින් සියයට 95ත් සියයට 100ත් තරම් ඉහළ බව කොළඹ අයි.ඩී.එච්. සහ රාගම ශික්ෂණ රෝහල්වල සිදු කළ ස්වාධීන පරීක්ෂණ මගින්ද තහවුරු වී ඇත. මෙයට වැය වන්නේ රුපියල් 1500ක වැනි දැරිය හැකි මිලක් වන අතරම පැය 2ක කාලයකදී ප්‍රතිඵල සියයට 96ක් තරම් නිවැරදිව එයින් ලැබෙන බව තහවුරු කර ඇති බවත් මෙය නිර්මාණය කළ කණ්ඩායමේ ප්‍රධානී පේරාදෙණිය සරසවියේ පශු ඖෂධ සහ සත්ත්ව විද්‍යා පීඨයේ ආචාර්ය රුචික ප්‍රනාන්දු “දේශය”ට කීය.