2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

තොග පිටින් සීනි ගිල්ල සතොස මැනේජර්ලාගේ වැඩ තහනම්

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 46

| ව්‍යාපාරික වාර්තාකරු

සහන මිලට පාරිභෝගික ජනතාවට අලෙවි කිරීමට නියම කළ දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 2000ක් පමණ අත යට විශාල කොමිස් මුදලක් තබාගෙන පෞද්ගලික වෙළෙඳුන්ට අලෙවි කළ සතොස කළමනාකරුවන් ගණනාවකගේ වැඩ තහනම් කොට වහා විනය පියවර ගැනීමට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා තීන්දු කර තිබේ.

රජයේ මැදිහත් වීමෙන් සතොස මගින් මෙරට නිෂ්පාදිත දුඹුරු සීනි කිලෝව රු. 115/-කට එක් පාරිභෝගිකයකුට කිලෝ 5 බැගින් අලෙවි කරන ලෙස නියෝගයක් නිකුත් කර තිබිණි. එසේ තිබියදී මෙම ජාවාරමේ නියුතු වූ සතොස කළමනාකරුවන් පිරිසක් අත යට කොමිස් තබාගනිමින් විවිධ ප්‍රදේශවල පෞද්ගලික ව්‍යාපාරිකයන්ට රහසේ සීනි විකුණා තිබේ. එක් සතොස කළමනාකරුවකු මෙලෙස සීනි මෙට්‍රික් ටොන් 35ක් පමණ විකුණූ බවට තොරතුරු හෙළිදරව් වී ඇත. මෙලෙස අධික ලෙස දුඹුරු සීනි අලෙවි කිරීම නිසා සාමාන්‍යයෙන් මසකට අලෙවි වන දුඹුරු සීනි ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් 1500 මෙට්‍රික් ටොන් 3500 දක්වා එක් මසක් තුළ විශාල ලෙස වැඩි විය.

සතොස මගින් රු. 115 ට අලෙවි කළ සීනි මෙලෙස වංචනිකව ලබාගත් තොග වෙළෙඳුන් ඒවා සිල්ලරේ අලෙවි කර තිබුණේ රු. 148 ත් රු. 150 ත් අතර ඉහළ මිලකට බව පාරිභෝගික අධිකාරිය විසින් සොයාගෙන තිබිණි.