2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

2022 රාජ්‍ය සේවකයන්ට අතිරේක දීමනා නැහැ

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 222

I යසවර්ධන රුද්රිගූ

දැනට අනුමත කර ඇති අතිකාල දීමනා හැර 2022 අයවැය ලේඛනය සඳහා අලුතින් අතිකාල හෝ වෙනත් කිසිදු දීමනාවක් ඇස්තමේන්තු ගත නොකරන ලෙස මුදල් අමාත්‍යාංශය අමාත්‍යාංශ ලේකම්වරැන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් උපදෙස් දී තිබේ.

වැටුප් වේතන සහ අතිකාල දීමනා සියල්ල ලබන වසර සඳහා වෙන වෙනම දැක්විය යුතු අතර, 2021 ජූලි මස 01 දිනට සඳහන් සේවක සංඛ්‍යාව මත පදනම්ව වැය ඇස්තමේන්තු සකස් කළ යුතු බවද එහි දැක්වේ.

එසේම කිසිදු ලෙසකින් රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීම් සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කළ නොහැකි බවද එම ලිපියෙන් රාජ්‍ය සේවයේ ප්‍රධාන ගිණුම් නිලධාරීන්ට හෙවත් අමාත්‍යාංශ ලේකම්වරුන්ට දන්වා තිබේ.

ගොඩනැගිලි තැනීම වැනි ප්‍රාග්ධන වියදම්වලට වඩා ආර්ථිකයට වහාම ප්‍රතිලාභ ලැබෙන සංවර්ධන වැය සඳහා ඇස්තමේන්තුවල ප්‍රමුඛත්වය දැක්විය යුතු බවද සඳහන් කර ඇත. මෙම අයවැය ඇස්තමේන්තු මෙම වසරේ අගෝස්තු මස 16 දිනට පෙර ඉදිරිපත් කරන ලෙසද දන්වා තිබේ.

මෙම තීරණය පිළිබඳ අප්‍රසාදය පළ කරන රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති පවසන්නේ පවතින දැඩි ජීවන වියදමට මුහුණ දෙමින් දුක්ඛිත ජීවිතයක් ගත කරන අඩු වැටුපක් ලබන රාජ්‍ය සේවකයාට හිමිව තිබූ අමතර අතිකාල දීමනා වරප්‍රසාද අහිමි කිරීම බලවත් අසාධාරණයක් බවයි.