2021 ජුලි 17 වන සෙනසුරාදා

WHO වෙතින් අලුත්ම කොවිඩ් බෙහෙත් 2ක්

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 182

I සුගත් පී. කුලතුංගආරච්චි

කෝවිඩ්-19, මරණ සියයට 13කින් අඩු කරන අලුත්ම කොවිඩ් බෙහෙත් 2ක් අසාධ්‍ය කෝවිඩ් රෝගීන් සඳහා නිර්දේශ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇත.

ඒ කෝවිඩ් රෝග ප්‍රතිකාර සඳහා වන සිය මාර්ගෝපදේශන යාවත්කාලීන කරමිනි. මෙසේ නිර්දේශ කර ඇත්තේ දැනට ආතරයිටිස් වැනි රෝග සඳහා ප්‍රතිකාර පිණිස යොදා ගැනෙන ඖෂධ ද්විත්වයකි.

කෝටිකොස්ටෙරොයිඩ් කාණ්ඩයේ ඖෂධ සමග මෙසේ අලුතෙන් නිර්දේශ කර ඇති  Tocilizumab සහ Sarilumab යන ඖෂධ ලබා දෙන්නේ නම් ඉන් ඉහළ ප්‍රතිඵල අත් කරගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය ජූලි 06දා නිකුත් කළ නිවේදනයේ දැක්වේ. ඉකුත් වසරේ සැප්තැම්බරයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කෝවිඩ්-19 සඳහා කෝටිකොස්ටිරොයිඩ ඖෂධ නිර්දේශ කිරීමෙන් පසු එම රෝගයට ප්‍රතිකාර ලෙස කාර්යක්ෂමව භාවිතා කළ හැකි යැයි එම සංවිධානය විසින් නිර්දේශ කෙරෙන පළමු   කොවිඩ් බෙහෙත් වර්ග 2ක මෙයයි.

තදබල ලෙස රෝගී වූ කොවිඩ් රෝගීන්ගේ දේහයේ ප්‍රතිශක්ති පද්ධතියේ ක්‍රියාකාරීත්වය සීමාව ඉක්මවා යන අවස්ථා ඇති අතර එය පෙරළා රෝගියාටම මාරාන්තික තත්ත්වයක් දක්වා පරිවර්තනය විය හැකිය. මෙම නව ඖෂධ 2 මඟින් මෙකී අධි ක්‍රියාකාරීත්වය අඩාල කරන බව පෙනී ගොස් තිබේ. මේ නිර්දේශය ලෝක සංවිධානය විසින් සිදු කරනු ලබන්නේ රෝගීන් 10000ක් සහභාගි කරගෙන ඉකුත් සමයේ සිදුකරන ලද සායනික පරීක්ෂණ 27ක ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමෙන් අනතුරැවය.