2021 ජුලි 10 වන සෙනසුරාදා

ආණ්ඩුවේ පුටු පෙරළියක් ලොකු ලොක්කන් රැසක් ඉවතට

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 09:59 935

දේශපාලන වාර්තාකරු|

රජයේ නව පරිපාලන ප්‍රතිසංස්කරණ යටතේ ආණ්ඩුවේ ප්‍රධානම ආයතන රැසක ඉහළ පෙළේ තනතුරු වෙනස් කිරීම ලබන සතියේ ආරම්භ වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. ඒ අනුව කඩිනමින් වෙනස් කෙරෙන තනතුරු ගණනාවකි.

උතුරේ ආණ්ඩුකාර ධුරය දරන පී.එස්.එම්. චාල්ස් මහත්මිය සහ වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ යන දෙදෙනා එම තනතුරුවලින් ඉවත් කෙරෙන බව සඳහන් වෙයි. ඒ වෙනුවට අභිනව ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු පත් කෙරෙන අතර ඉන් එක් ආණ්ඩුකාර ධුරයක් සඳහා හිටපු කැබිනට් අමාත්‍යවරයකු වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ නම යෝජනා වී තිබේ.  ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වත්මන් සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා දැනට පුරප්පාඩුව පවතින ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය සඳහා යෝජනා කර ඇත. රක්ෂණ සංස්ථාවට පත් කිරීම සඳහා යෝජනා කරන ලද හිටපු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා එම තනතුර ප්‍රතික්ෂේප කර ඇති නිසා වැල්ලවත්ත මහතාගේ නව පත්වීම කල් යා හැකි බවද දැනගන්නට ඇත. ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපතිවරයා ඉවත්කොට ඒ සඳහා රේණුක පෙරේරා මහතා පත් කිරීමට රජය තීන්දු කර ඇතැයිද වාර්තා වෙයි. පුරප්පාඩුව පැවති විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ධුරයට මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා දැනටමත් පත්කර තිබේ. මේ වනවිට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයද පුරප්පාඩුව පවතී. ඒ සඳහා ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති අනිල් කොස්වත්ත මහතා පත් කෙරේ. ලිට්රෝ සභාපති ධුරය සඳහා තෙෂාර ජයසිංහ මහතා පත් කිරීමට නියමිතය.

ඒ අතර අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා එම තනතුරට අමතරව අලුතෙන් ස්ථාපිත කරන ලද ආර්ථික කටයුතු හා ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍යංශයේ ලේකම් පදවියට පත්කර තිබේ. පසුගියදා ඇතැම් සමාජ මාධ්‍යවල පලවූ පරිදි අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා මුදල් ලේකම් ධුරයටද අග්‍රාමාත්‍ය ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා පත්වනු ඇති බවටද කර තිබූ ප්‍රකාශ සහමුලින්ම අසත්‍ය බැවින් ඒවා ප්‍රතික්ෂේප කරන බව ඒ දෙදෙනාම දේශයට කීහ. මුදල් ලේකම් ධුරය තවදුරටත් එස්.ආර්. ආටිගල මහතාම දරනු ඇති අතර ඉදිරි සති දෙක තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයද වෙනස් කිරීමට නියමිත බව දේශයට වාර්තා වෙයි.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00