2021 ජුලි 10 වන සෙනසුරාදා

අස්වෙන්න කිව්වාම ලැයිස්තු මන්ත්‍රී හඬයි: තවත් අයෙක් අතුරුදන්

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 55

I දේශපාලන වාර්තාකරු

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක දිවුරුම් දීමට අවස්ථාව සලසා මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන ලෙස පොහොට්ටුවේ ප්‍රධානීන් පැවසූ පසු එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු හඬා ඇති අතර තවත් අයකු අතුරුදන්ව සිටි බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

එහෙත් බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී මැතිසබයට පැමිණි පසු ඔහු පිළිගැනීම සඳහා කරනු ලබන මුල්ම කතාව තමන්ට ලබාදෙන ලෙස මේ දෙදෙනාම අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබිණි. නමුත් වගකිවයුත්තන් එම ඉල්ලීම තරයේම ප්‍රතික්ෂේප කර ඇතිබව වාර්තා වෙයි. මේ දෙදෙනාට අමතරව ජාතික ලැයිස්තුවෙන් පත් කළ තවත් මන්ත්‍රීවරුන් දෙදෙනකුද බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉල්ලා අස්වන ලෙස පැවසූ පසු විවිධ හේතු දක්වා මගහැර තිබිණි.

පොහොට්ටුවේ පරිපාලන ලේකම්වරයා මෙම තත්ත්වය පක්ෂයට වාර්තා කර තිබූ බව දැනගන්නට තිබේ.

එසේ වුවද පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීන් අතර සිටින රාජ්‍ය අමාත්‍යවරියක සහ තවත් මන්ත්‍රීන් තුන්දෙනකු බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් අවශ්‍ය නම් ඉවත් වන්නට සූදානම් බව දන්වා තිබිණි. පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතාද ඒ අතර වූ බව කියැවෙයි.

පසුගිය මහ මැතිවරණයෙන් පසු පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීන් සඳහා පත්වීම් ලබාදෙද්දී ජාතික ලැයිස්තු මන්ත්‍රීන් 7 දෙනකු පත්කර ඇත්තේ අවශ්‍ය අවස්ථාවකදී අස්වීමට සූදානම් විය යුතුය යන කොන්දේසියට යටත්ව බවද වාර්තා වෙයි. කෙසේ හෝ අවසානයේ ජයන්ත කැටගොඩ මහතා කොන්දේසි විරහිතව ඉවත් වී බැසිල් රාජපක්ෂ මහතාට අවස්ථාව ලබා දුන්නේය.

එහෙත් මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී මැතිසබයට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනීමට පැමිණි පොහොට්ටු මන්ත්‍රීන් අතර අස්වීම ප්‍රතික්ෂේප කළ ජාතික ලැයිස්තු මන්ත්‍රීන් කිහිප දෙනා පෙරමුණේම සිටි බව වාර්තා වෙයි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01