2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

වන්දි දෙන්නේ මෙහෙමයි

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47


මීතොටමුල්ලේ විපතට පත්වූ ජනතාව සඳහා වන්දි ලබාදිය යුතු ආකාරය රජය විසින් තීරණය කර තිබේ.  ඒ අනුව කුණු කන්ද නාය යෑමෙන් විනාශයට පත් නිවාස 98 වෙනුවෙන් කොළොන්නාව නාගරික සංවර්ධන නිවාස ව්‍යාපෘතියෙන් රුපියල් ලක්ෂ 40 පමණ වටිනා නිවාස 98ක් ලබාදීමට නියමිතය.

එම නිවාසවලට ගෘහ භාණ්ඩ ලබාගැනීමට එක් පවුලකට රැපියල් 2,50,000ක මුදලක් පිරිනැමෙයි. 

දැනට හඳුනාගෙන සිටින අවදානම් කලාපයේ සිටින පවුල් 262ක් සඳහා නව වාසස්ථාන සොයාදෙන තුරු මසකට රුපියල් 50,000 බැගින් මාස තුනක කාලයක් සඳහා දීමනා ලබාදෙයි. මාස තුනකින් පසුව සාලමුල්ල නිවාස ව්‍යාපෘතියෙන් ඔවුන්ට නිවාස ලබාදීමට නියමිතය. මෙම පවුල් 262ට දැනට සිටින ස්ථානවලින් ඉවත්ව යාමට ප්‍රවාහන වියදම් සඳහා තවත් රුපියල් 10,000ක පමණ මුදලින්ද වහාම ලබාදෙනු ඇත. කුණු කන්ද නාය යාමෙන් මිය ගිය තැනැත්තකුට රුපියල් ලක්ෂ 10ක වන්දියක් පිරිනැමිය යුතු යැයි යෝජනාකර තිබේ. අනතුරුව හානියට පත් දේපොළ තක්සේරැකර සුදුසු වන්දි පිරිනමනු ඇත.

මෙකී සමස්ත වන්දි පිරිනැමීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරය රුපියල් කෝටි 100ක මුදලක් වෙන්කරන ලද බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.

විනාශ වූ නිවසට :- රුපියල් ලක්ෂ 40 නිවසක්

මරණයකට :- රුපියල් ලක්ෂ 10ක්

ගෘහ භාණ්ඩ ලබාගැනීමට :- රුපියල් 2,50,000ක්

අවදානම් පවුල්වලට මාසිකව දෙන සහනාධාර මසකට :- රු. 50,000

භාණ්ඩ ප්‍රවාහන ගාස්තුව එක් පවුලකින් :- රු. 10,000

 

දේශපාලන වාර්තාකරු l